‘නිදහස’ ඉවර වෙන්නට මොහොතකට පෙර….

16298377_1401366303228983_1303147517682824651_n

ඡායාරූපය- තාරක බස්නායක. (නිදහස් දින පෙරහුරුවේදී මල්ටි රොකට් ලෝන්චර් එකක් ළඟ සිට ගෙන සිටින සොල්දාදුවෝ)

‘නිදහස’ සුඛෝපභෝගී රියකින් පැමිණියේය. වී කරල්වලින් ස්වයංපෝෂිත වුණු, ධර්ම චක්‍රයක් සිරසෙහි දරාගත් ලෝකඩ තහඩු දෙකක් අශ්වයන් මැද හිරවී තිබුණු අතර, ඒවා තේජසින් බැබලුණි. ‘නිදහස’ වාහනයෙන් බසින විට, කාකි ඇඳුම් ඇඳ ගත් සමරසේකර ආචාර කළේය.  සමරසේකරගේ පපුවට හිර වී තිබුණේ ඒ ලේ ගඳ ගහන ආයුදයමයි. ලේ ගඳ ගහන යකඩ බට ගාණක් ‘නිදහස’ පිළි ගන්නට සීරුවෙන් ඇවිද යයි. ගිනියම් අව්වට රත්වුණු මහ පොළොවෙන් ද පිට වන්නේ ගිනියම් ගතියකි. හිස දිගේ රූටා ආ දාඩිය බින්දුවක් නළල දිගේ, නහයට බේරුණු අතර, නහයෙන් තොල්වලට බේරෙනු ලුණු රසට සමරසේකරට දැනුනි. සීරුවෙන් අඩි තබා ඉදිරියට ගමන් කරන අතර තුර, ඔහු පාලකයා දෙසම හිස හරවා ගෙන ඉදිරියට ගමන් කළේය. පාලකයා පසු වුනු පසු, ඔහු ඉදිරියට හිස හරවා ගමන් කරන්නට ගත්තේය.

‘නිදහසේ’ සංකේතය පාලකයා පසු කර යන තෙක් සිට, ‘නිදහස’ බෙදා හරින රූපවාහිනී කැමරාව ද පසු වෙන තෙක් සිට, සමරසේකර හොරෙන් ඇස් කරකවා බැලුවේ මිසි නෝනා කොහේවත් ඉන්නවාද කියාය. ඔහුගේ අම්මා මිසි නෝනා පේන තෙක් මානයක හිටියේ නැත. තමන්ගේ ලොකු පුතා ‘නිදහස’ හමු වෙන හැටි බලන්නට ඈ  බලා හිටියේ පුදුම ආසාවකිනි.

සමරසේකරගේ තාත්තා නැති වුණේ සමරසේකරට අවුරුදු හතේ දීය. එයින් පසු දරු පැටව් ටික හදන්නට මිසි නෝනා නොවිඳිනා දුක් වින්දාය.  සමරසේකරට මල්ලිලා දෙන්නෙක් ද, එක නංගියෙක් ද සිටියහ. නංගී සා/පෙ ඉවර වෙන්නටත් කලින් කොල්ලෙක් එක්ක හඳ පානේ නිදහස සොයා ගිය අතර, සමරසේකර ‘ජාතිය බේරා ගන්නට’ තීරණය කළේ ඊට මාස 3කට පස්සේය. නංගී නිදහස සොයා ගෙන යන ගමං මිසි නෝනා වරින් වර උගස් කරමින් ගෙදර සන්තකේටම තිබුණු අරුංගල් කුට්ටමට, සහ වළලු කුට්ටමටද තට්ටු කළාය. මිසිනෝනා ඒ දවස් ටික ගත කළේ බොහොම විස්සෝපයෙන් වෙන අතර, ඇයට ගාමන්ට් එකේ රස්සාවෙන් නිදහස් වීමට සිදු වුණේ  ද ඔය කාලයේය. ගෙදර අඟහිඟකම් එන්ට එන්ටම වැඩි වීමත් සමගම, සමරසේකරට ජාතිය නිදහස් කර ගැනීමේ වග කීම ඉතා තදින්ම දැනෙන්නට පටන් ගත්තේය. ආණ්ඩුවේ කැම්පස් එකකට යන්ට දශම දෙකක් මදි වුණත්, දෙවැනි පාරට විභාගය ලියන්නට සමරසේකර කල්පනා කළේ නැත. කැම්පස් යනවාට වඩා ‘ජාතිය නිදහස් කර ගැනීම’ කොතරම් වැදගත් ද?

‘ජාතිය නිදහස්’ කර ගැනීමට කලින් දවසේ ඔහු බලෙන්ම වාගේ පන්සලට එක්කන් ගියේ  මිසි නෝනාය. පොඩි කාලේ දහම් පාසල් යන දවස්වල වෙච්ච නරක අත් දැකීමක් නිසා, පන්සල් යන්න සමරසේකර ඒ තරම් ආසාවක් නොදැක් වූවත්, බෝමළුවේ වාඩි වී ගෙන බෝ ගහ දිහා බලා ගෙන ඉන්න කොට සමරසේකරට ජීවිතේ පළමු වතාවට පුදුම නිදහසක් දැනුනි. පන්සලේ හාමුදුරුවන්ට පවා තම පුතා ජාතිය නිදහස් කර ගන්න යන බැව් මිසි නෝනා කීවේ බලවත් ආඩම්බරයෙනි. එදින පන්සලේ හාමුදුරුවෝ බණට කීවේ ද කවුදෝ හාමුදුරු කෙනෙක් සිවුරෙනුත් නිදහස් වී, රට ජාතිය නිදහස් කර ගන්ට ගිය හැටිය. මිසිනෝනා මොන තරම් සන්තෝසයකින් ද එදා හිටියේ….

එදා මිසි නෝනාගේ මුහුණ මලක් මෙන් පිපී තිබුණි. අඟ හිඟකමට අලංකාර වූ ඇගේ සිහින් සිරුර ප්‍රාණවත් වී මුහුණේ පිපී තිබුණු සිනහව අදටත් සමරසේකරට එදා මෙන් මතකය. සමරසේකරත් එදා හිටියේ හරිම සන්තෝසයෙනි.

සමරසේකරට අඩි 30-40ක් පිටුපසින් රන්වන් පැහැති සිංහයකු ගමන් කරමින් සිටියේය. උගේ මුහුණේ තිබුනේ හරිම තේජාන්විත ගතියකි. හරිම නිදහස් ගතියක් ඌට තිබුණි. ඌට රෝද සවිකර තිබුණු අතර ඌව තල්ලු කරන්නේ පිටු පසින් සිටින නිලධාරියක් ද, එහෙම නැත්නම් මෝටරයක් විසින් ද කියා සමරසේකරට නිච්චියක් තිබුනේ නැත.

අතේ තිබෙන යකඩ බටයෙන් ඉවසිය නොහැකි ලේ ගඳක් සමරසේකරට දැනේ. පළ වෙනි කොටියාට වෙඩි තබා දවස් ගණනාවක් යනකම්ම සමරසේකර හීනෙන් බය වුණේය. ඒ කොටියෙක් නොවේ. කොටි පැටියෙකි. යකඩ බටයකුත් එල්ල කර ගෙන, ගොරවා ගෙන ඉදිරියට පැන්න කොටි පැටියාගේ කිරි සුවඳ හොඳටෝම සමරසේකරට දැනුනි. සමරසේකර වෙඩි තිබ්බා නොව වෙඩි තැබුනි. පුල්ලි අතරට ඇතුළු වුණු ගිනියම් යකඩ ගුලිය සම පසාරු කරද්දී, කොටි පැටියා මීක් නොගාම ඇකුලුනේය. උගේ මුහුණේ තිබුනේ පුංචි හිනාවකි. හා පැටියෙක්ගේ වාගේ හිනාවකි. සමරසේකර බය වුනේ මේ හිනාවටය. දවස් ගාණක් යන කම්ම සමරසේකරට නින්ද නොගියේය. එයින් පසු සමරසේකර මහ කොටි ගණනාවක් ද මරා දැමුවේය. වරක් සමරසේකරට සම්මානයක් ද ලැබුණි. ඒ සම්මානයේ ද කොනක වී කරල් තිබුණා වාගේ, සිංහයෙක් හිටියා වාගේ සමරසේකරට යන්තම් මතකය. එය ලැබෙන කොට සමරසේකර හිටියේ තුවාල වෙලාය. ඔහු සුමාන දෙකක් විතර ඉස්පිරිතාලේ හිටිය අතර, මිසි නෝනා ඒ දවස්වල හැමදාම වාගේ බත් එකකුත් අරගෙන සමරසේකර බලන්නට ආවාය. සාජන් උපතිස්ස කොච්චර එන්න එපා කිව්වත් මිසිනෝනා ඇහුවේම නැත. සමරසේකරට සම්මාන ලැබෙන විට, සමරසේකරගේ ප්ලැටූන් එකෙන්ම නිදහස නොලැබී ඉතුරු වුනේ සමරසේකරත්, ලෙෆ්ටිනන්ට් කෙනෙකුත්, සාජන් උපතිස්සත් විතරමය.

ඒ සම්මානය ගෙදර ගෙන ආ විට මිසි නෝනා ඉමහත් සන්තෝසයට පත් විය. ඒ උත්සවයට ඇයට එන්නට බැරි වීම ගැන ඇය සිටියේ මහත් දුකිනි. ‘නිදහසේ’ නායකයා විසින් ඔහුට එම සම්මානය පළඳවන පින්තූරයක් මිසි නෝනා විසින් රාමු කර ගෙනැවිත් බිත්තියේ ගැසූ අතර, ලොකු මල්ලී ජාතිය බේරා ගන්නට තීරණය කළේ ද ඔය දවස්වලමය. ජාතිය බේරා ගන්ට ගිය ලොකු මල්ලී වැඩි කල් ජීවත් වුනේ නැත. ඌ නිදහස ලබා ගෙන කැරකොප්පුවට යන්ට ගිය දා මහ රෑ සමරසේකර නින්දෙන් ඇහැරුණේ අමුතු කුණු ලේ ගඳක් දැනීමෙනි. ගේ හැමතැනම ඉව කර, ඉව කර ඇවිද ගිය සමරසේකර අන්තිමේ දී සම්මානය ළඟට පැමිණියේය. අමුතු කුණු ලේ ගඳ එමින් තිබුණේ ඒ තුළිනි. සමරසේකර සම්මානය අතට ගත්තේය. මිසි නෝනාත්, පොඩි මල්ලීත් සිටියේ තද නින්දේය. ඔහු තඩි ගල් ගෙඩියක් ගෙනවිත්, සම්මානය කුඩු කර, වලක් කපා එය වල දැම්මේය. අර පින්තුරයට ද ඔහු එසේම කළේය. එදා පටන් සමරසේකරට වරින් වර මේ කුණු ලේ ගඳ දැනේ.

දෙවැනි මල්ලීටද සාමාන්‍ය පෙළ ඉවර වෙනවාත් එක්කම ජාතියට නිදහස ලබා දෙන්නට අවශ්‍ය වූ නමුදු, සමරසේකර එයට එක හෙළාම විරුද්ධ විය.  පන්ති කට් කර කට්ටි පනින බව ආරංචි වූ විට, ඔහු දුරකථනයෙන් වෙලාවකට තර්ජනය කරමින් ද, තවත් වෙලාවකට බැගෑපත් වෙමින් ද, තවත් වෙලාවක හඬා වැටෙමින් ද පොඩි එකාට කියා සිටියේ මුළු පවුලටම නිදහස ලබා දෙන්නට ඉන්නේ ඌ විතරක් බවයි. සමරසේකරගේ සහ මිසි නෝනාගේ බලාපොරොත්තු කඩ නොකළ ඌ හොඳට මහන්සි වී පාඩම් කර දොස්තර විබාගේ කරන්නට ගියේය. සයිටම් ද මොකක්ද එකෙන් නිදහස ලබා ගන්නට ගිය, ඌ ගුටි කා ඉස්පිරිතාලේ ඉන්නා බැව් සමරසේකරට ආරංචි වුනේ ඊයේ හැන්දෑවේය. පොඩි එකා බලන්නට යන්නට සමරසේකරට තදටම ඕනෑකම තිබුණු නමුත් ‘නිදහස’ පැමිණෙන නිසා එසේ කරන්නට ලීව් අනුමත වුණේ නැත. වයසක ‘මිසිනෝනා’ට ඕවා කියා හිත කලබල කරන්නට ද සමරසේකරට හිතුනේ නැත. ඒත් සමහරවිට ඇය පේන්ට නැත්තේ ඒ ආරංචිය ලැබී පොඩි එකා බලන්නට ගිය නිසා වෙන්නටත් පුළුවන. එක අතකට එහෙම ගියා නම් හොඳය.

සමරසේකරට පිටි පස්සෙන් සිටින සිංහයාට පිටුපස්සෙන් ඇත්තේ ලේ වැකුණු යෝධ යකඩ ගොඩකි. ඔක්කාරය එන තරම් ලේ ගඳක් සමරසේකරට එයින් දැනේ. සාජන් උපතිස්සත් තමාත් ඒ දවස්වල බුදිය ගත්තේ ඔයින් එකක් ඇතුළේය. කාටවත් නොකිව්වාට අනුරාධපුරයට එනකම්ම ජාතියට නිදහස ලබා දීමට කළ අරගලය අස්සේ තිබුණු එකම සන්තෝසය ඒකය. අන්තිමට ලෙෆ්ටිනන්ට් චමින්දට අහුවුනාට පස්සේ ඒක කෙළවර වුනේ පෝලිමක් දැමීමෙනි. සමරසේකර දැන් ඕවා මතක් කරන්නට කැමති නැත. අනිත් එක චමින්දයාගේ මූණ මතක් වෙනවාටවත් සමරසේකර කැමතිම නැත. එවිට බඩ කොරවී ගෙන යන චූ බරක් ඔහුට දැනෙන අතර, මොකක්දෝ ඔක්කාරයක් ද දැනෙයි. සුද්දෙක් වාගේ හොඳට ඉංග්‍රීසි කතා කරන්නට පුළුවන් චමින්ද කොළඹ හොඳ පවුලෙකින් ආපු එකෙක් වෙන අතර, ලංකාවේ සංස්කෘතිය ගැන පොර ටෝක් දුන් හැටි දැනුදු සමරසේකරට මතක් වේ. එ් සිද්ධියෙන් අනතුරුව සතියක්ම සමරසේකරට කලුවර කාමරයක ඉන්නට සිදු වුනු අතර, ඉවසන්ට බැරි වුණේ එය නොව, ලැජ්ජාවය. එයින් අනතුරුව ඒ කේන්තිය සහ ලැජ්ජාව යන කම්ම සමරසේකර කොටි විසි පහකට විතර වෙඩි තිබ්බේය.

එක් අතකට තමාට නංගී මෙන් සාමාන්‍ය පෙළෙන් පසුව නිදහස සොයා ගන්නට තිබුනු බැව් ඔහුට හිතුනේ වරක් දෙවරක් නොවේ. ඒත් කොහෙන් කියා තමන් නිදහස සොයා ගන්නද? එසේ වූවා නම් අම්මා මිසිනෝනාට මොනවා වෙනු ඇත්ද? පොඩි එකා දොස්තර විභාගේ කරන්නේ කාගේ සල්ලිවලින්ද? අව්වේ සැරට ලේ ගඳ කෙමෙන් කෙමෙන් අඩු වෙනු ඔහුට පෙනේ. දැන් ඔහුට දැනෙන්නේ දාඩිය ගඳකි.

‘නිදහස’ තව පැයකින් දෙකකින් ඉවර වෙනු ඇතැයි ඔහුට සිතුණි. ‘නිදහස’ට පසුව සතියක නිවාඩුවක් ඉල්ලා ඉල්ලුම් පත්‍ර දැම්මේ ගිය සුමානේ ය. සාජන් උපතිස්ස බලන්නට වැලිකන්දේ යන්ට හිතන් හිටියත් දැන් එහෙ යන්ට වෙන පාටක් නැත. පොඩි මල්ලීට සනීපද දන්නේ නැත. ඌ බලන්නට ඉස්පිරිතාලේ යා යුතුය.

“අපි මේ කරන්නෙ පවක් නෙමේ ද බං” වරක් තමා සාජංගෙන් ඇසූ හැටි සමරසේකරට මතක් විණි. හක හක ගා හිනා වුණු සාජන්, “උඹ හිතන් ඉන්නෙ අපිට පඩි ගෙවන්නෙ පිං කරන්න කියලාද?” යනුවෙන් ඇසුවේය. කලුවර රාත්‍රිය ඇතුළෙන් හමා එන හුළඟ හමුවේ නොසැලී සිටින තල් ගහක් මෙන් ඒ වෙලාවේ සමරසේකරට සාජංව ලොකුවට පෙනුනි.

————————————————————————-

“සමලිංගික පව කෝට්ටේ රාජධානිය පුරා පැතිර ඇති අතර, මෙහි ජීවත් වීම ගැන අපට දැනෙන්නේ බයකි. රාජධානියේ වෙසෙන වැදගත් නායකයෙක් වෙත ගොස් මෙවැනි කැත ක්‍රියාවක් ගැන ලැජ්ජා නොවන්නේ දැයි ඇසූ කල, ඔහු පිළිතරු දෙන්නේ, රජ විසින් යමක් කරන්නේ නම් එය අපේ චාරිත්‍රය වෙන බවයි” (1547 නොවැ 27, පෘතුගීසින් විසින් ඉන්දියාවේ සිටි ඩී ජොවාවෝ ද කැස්ත්‍රෝ පෘතුගීසි උප-පාලකයාට)

————————————————————————–

“රජතුමාගේ බොහෝ සේවකයන් වූයේ කොල්ලන්ය, තරුණ පිරිමින්ය. හොඳ පවුල්වලින් එන කඩවසම් අයය.  දිසාවේලා හෝ රටේ මහත්තුරු හරහා එවැනි කොලු ගැටව් තෝරා ගැනෙන අතර යහපත් පෙනුමැති, හොඳ පවුල් පසුබිමක් අය තෝරා මාළිගාවට එවේ. මේ කොලුවන්ගේ හිසකෙස් බූ ගාන අතර කෙස් පිටුපසින් එල්ලෙයි. රජුට සමලිංගික හැසිරිම සම්බන්ධයෙන් වරදක් නොදැනුනු අතර, ඔවුන් අතර එවැනි පවක් ගැන කතා වෙනු ද මම කිසිම දිනක නොඇසුවෙමි.” රොබට් නොක්ස්. 1681

————————————————————————–

ඩෝං! සුද්දෙකු ජාතියට නිදහස දෙමින් සිටියේය. ඒ වෙලාවේ සමරසේකරගේ හම මත හීනියට කොටි පුල්ලි මතු වෙමින් තිබුනු බව දුටුවේ, සමරසේකරට පිටුපසින් සිටි යකඩ සිංහයා පමණි. අණ දෙන නිලධාරියා වම් පැත්තට හැරෙන ලෙස හදිසියේම අණ දුන් බැවින් කණ්ඩායම ගමන වෙනස් කරන ලදී. තව ටිකකින් ‘නිදහස’ සුඛෝපභෝගි රියට නැග පිටත් වෙනු ඇත. සමරසේකරට නිවාඩු අනුමත වෙනවාද යන තීරණය ලැබෙන්නේ එයින් පසුවය. තවමත් මිසි නෝනා පේන තෙක් මානයක නැත.

දමිත් චන්දිමාල්

2017 පෙබරවාරි 04 දින

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )