පාඩම් පොතින් ජාතිවාදය ඉගැන්වීම

මගේ අල කතාව, හය වසරේ කතාව, ගිරා පෝතක කතාව සහ ඥාන(සාර)කතාව

අලුත්ගම පළමු ගල ගැසුවේ කවු ද? ජාතිවාදය ව්‍යාප්ත කිරීමට ලාංකීය බැංකුකරණ අධ්‍යාපනයේ දායකත්වය ප්‍රශ්න කිරීම මැයෙන් 2014 ජූලි 7 වැනි දා කොළඹ සරසවියේ දී අපි සාකච්ඡාවක් සංවිධානය කළෙමු. සමහර විටක ඔබට එම වැඩසටහන සම්බන්ධ දැන්වීම මුහුණපොතෙහි දකින්නට ඇත.

මගේ අල කතාව

මම පැය බාගයක්වත් පමා වන්නට ඇත. අනතුරුව තවත් ටිකක් තැන සොයා ගන්නට නොහැකිව එහා මෙහා ඇවිද්ද මුත්, අවසානයේ මම 228 සොයා ගත්තෙමි. දොර වසා තිබුණි. ඇත්තටම එය පැවැත්වෙන්නේ මෙතැන නොවේද? මම දුරකතනයෙන් ඇමතුමක් ලබා ගතිමි.

මට තැන සොයා ගැනීමට දුරකතනයෙන් උපදෙස් දුන් මිතුරිය සාකච්ඡාව සඳහා පැමිණ, සාකච්ඡාව පටන් ගැනීමට පෙරම පිටව ගොස් තිබුණි. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධ හොඳ දැනුමක් තිබූ, ඒ සමගම සිංහල ජාතිය සම්බන්ධ කිසියම් කැක්කුමක් ද තිබුණු ඇය සාකච්ඡාවට සහභාගි නොවීම ගැන මට දැනුනේ කණගාටුවකි.

එහෙත් අපි සියල්ලෝම වට කර ගෙන ඇයට (මතවාදී ලෙස) පහර දෙනු ඇතැ’යි ඇය ඇතැම් විට බිය ගන්නට ඇත. ඇගේ ජාතිවාදය ඉතා අහිංසකය. මම එයා ඉතා හොඳින් දැන සිටියෙමි.

දැන් මට 228 කාමරය ඇතුළ මැවී පෙනේ. සිංහල ජාතිය වෙනුවෙන්, දෙමළ ජාතිය වෙනුවෙන්, හෝ මුස්ලිම් ජාතිය වෙනුවෙන් සටන් වදින්නට කවුරුත් නැතුවාට සැක නැත. හැමදාම එන මුහුණු ටික නම් සුළුතරය අතර හැමදාම කතා කරන කටවල් ටික නම් අති සුළුතරය හැමදාම කතා වෙන දේවල්ම කතා කරනවාට නිසැකය.

කාමරයේ දොර වසා තිබුණි. දුරකථනයෙන් ලද උපදෙස් පරිදි මම කාමරයේ දොරට තට්ටු කළෙමි. උපුල් දොර හැරියේය. රවුමට පුටු තබා ගත් පිරිසක් වාඩි වී සිටියහ. මම ද හීන් සීරුවේ වාඩි ගතිමි.

සාකච්ඡාව ඒ වන විට හැරී තිබුණේ සමාජයේ වෙනසක් ඇති කරන්නේ කෙසේද යන්න සම්බන්ධවයි. කිසිම ලෙසකින් සමාජය අපට ඕනෑ පරිදි වෙනස් වන්නේ නැත. සමාජය හරි මුරණ්ඩුය. මම කතා කරන්නට හිතා ගෙන සිටි ටික කතා නොකර සිටින්නට කල්පනා කළේ අනිත් අය කතා කරන දේවල් හොඳ යැයි හිතුණු නිසාය. සමහර වෙලාවට මට එහෙම වෙයි. අනිත් මිනිස්සු හොඳට කතා කරන විට, වාද විවාද කරන විට, මට මැදට පනින්නට හිතෙන්නේ නැත. ඔවුන් කියන දේවල් හොඳින් අසා ගෙන හිඳ මම ඉගෙන ගන්නෙමි. මට ජීවිතේට හිතෙන්නේ නැති මාර දේවල් අනිත් මිනිස්සුන්ට හිතෙයි. ඒවා ඉගෙන ගන්නේ නැත්නම් මා ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරන්නේ කෙසේද?

එය ඉතා මෝඩ තර්කයක් බව උපුල්ට ඇසුණොත් පවසනු ඇත. එහෙත් මා ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ හොඳ හෝ නරක ඵලයකි.

ඒ නිසා මා මට කියන්නට අවශ්‍ය වූ දෙය ලියා දෙන්නෙමි.

පාසලේ විෂය නිර්දේශය හරහා ජාතිවාදය ව්‍යාප්ත වන්නේ කෙසේද? යන්න කතා කිරීම මගේ අරමුණ විය.  6 වසරේ කතාව ඒ ගැනයි.

සිංහලකම

මම සිංහලයෙක් මි. මම මා සිංහල බව දන්නේ කෙසේද? මගේ දෙමව්පියන් සිංහල බැවිනි. මගේ දෙමව්පියන් සිංහල බව මා දන්නේ කෙසේද? මගේ පරම්පරාව සිංහල හෙයිනි. නැත, එය විය නොහැක. මගේ පරම්පරාව සිංහල ද යන්න ගැන මට බරපතල සැකයක් මතුවේ. ‘ද අල්විස්’ යන වාසගම් කොටසත් සමග පෘතුගීසින් අනුකරණය කළ සීයලා සිටින, ලන්දේසි ජාතිකයන් සමග විවාහ වුණු ආච්චිලා සිටින පිය පරම්පරාවක් මට ඇත. නැත. මා සිංහල වන්නේ පරම්පරාව නිසා නම් නොවේ.

මම දෙවැනි තර්කයට යමි. සිංහල කතා කරන නිසා, ලියන නිසා මම සිංහල වන්නෙමි. එහෙත් ඒ සම්බන්ධ ව ද මට බරපතල සැකයක් මතුවේ. මගේ යහළුවන් දෙදෙනෙක් සිටිති. එක් අයෙකුගේ පියා දෙමළය. අනිකාගේ පියා මුස්ලිම්ය. දෙදෙනාගේම පියවරු මියගොස් ඇත. පළමු වැන්නාගේ වාසගම දෙමළ වන අතර, නම සිංහල වන අතර, කුඩා කල සිටම හැදී වැඩී ඇත්තේ සිංහල මව සහ මවගේ නෑදැයන් සමගය. දෙවැන්නාගේ නම සහ වාසගම යන දෙකම මුස්ලිම් වන අතර, ඔහු ද කුඩා කල සිටම හැදී වැඩී ඇත්තේ සිංහල මව  සහ මවගේ නෑදෑයන් සමගය. බොහෝ කලකට පෙර මිය ගිය පියා හේතුවෙන් දෙමළ වචනයක්වත් නොදැන ඔවුන් දෙදෙනා උප්පැන්නවලින් දෙමළ, මුස්ලිම් වෙති. සිංහලකම යනු අපගේ පරම්පරාව සම්බන්ධ කාරණයක් නොවනවා සේම, භාෂාව සම්බන්ධ කාරණයක් ද නොවේ. එය හුදෙක් සම්ප්‍රදාය පමණි. දෙමළකම, සහ මුස්ලිම්කම වන්නේ ද සම්ප්‍රදාය පමණි.

එහෙත් මේ සම්ප්‍රදාය ගොඩ නැගෙන්නේ කොතනින් ද? සම්ප්‍රදාය ගොඩ නැගෙන්නේ (නො)දැනුමෙනි. සම්ප්‍රදාය රකින ආඩම්බරය ගොඩ නංවන්නේ ද (නො)දැනුමෙනි.මේ වංසෙ කබල් ගෑම දැනුදු ගජ රාමෙට සිදුවේ.

දැනුම සහ (නො)දැනුම යන දෙකම අපට අධ්‍යාපනය හරහා ලැබේ. අධ්‍යාපනය විධිමත් හෝ අවිධිමත් විය හැකිය. මම පළමුව විධිමත් අධ්‍යාපනය ගැන කතා කරමි.

ජාතික සමගිය නංවන දෑ විෂය නිර්දේශයේ නොතිබේ ද?

සැබැවින්ම තිබේ. පුරවැසි හා ප්‍රජා පාලනය නම් විෂය යටතේ හඳුන්වා දුන් ඉතා හොඳ පාඩම් කිහිපයක් තිබේ. ‘බහු සංස්කෘතික සමාජයක් හඳුනා ගනිමු’, ‘ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ගැටුම් නිරාකරණය’ පැහැදිලිවම ඉතා හොඳ පාඩම් දෙකකි. ජෝන් ගැල්ටුංගේ ගැටුම් ත්‍රිකෝණ සංකල්පය පවා මෙම පාඩම්වල ඇතුළත් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සමාජ ඒකාබද්ධතාවය සහ සාමය සම්බන්ධ ඒකකයක් පිහිටුවා ඇති අතර, 2008 වසරේ දී අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් නිකුත් කරන ලද ‘සමාජ ඒකාබද්ධතාවය සහ සාමය වෙනුවෙන් වන ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකරකම් සඳහා පෘථුල රාමුවක්’ යන ලේඛනය ශ්‍රී ලංකාවේ සාම අධ්‍යාපනය වෙනුවෙන් වන අතිශයින් වැදගත් ලියැවිල්ලකි.

සෑම විෂයයකටම අදාළව සමාජ ඒකාග්‍රතාවය සහ සාමය සම්බන්ධව මග පෙන්වීමක්ලබා දීමටත්, විශේෂයෙන්ම ඉතිහාසය වැනි විෂයයන් කතා කිරීමේ දී මෙය විශේෂයෙන් සිදු කළ යුතු බවටත් සඳහන් වේ. ගණිතය, භෞතික විද්‍යාව වැනි විෂයයන් තුළට පවා සාමය ගැන කතා කිරීම නිර්මාණශීලි ලෙස ඇතුළත් කළ යුතු බවට මෙහි සඳහන් වේ.

එසේම මෙම ලේඛනය තුළ අවිහිංසාව, ගරුත්වය, සහයෝගය, සත්‍යවාදීබව, සහකම්පනය වැනි වටිනාකම් සහ විවේචනාත්මක විග්‍රහය සම්බන්ධ කුසලතා විෂය නිර්දේශය තුළ ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද මෙහි කතා බහ වේ.

එපමණක් නොව, පාසැල් පන්ති තුළ ගැටුම් නිරාකරණය සඳහා කමිටු පත් කිරීමට ද, සාම මැදිහත්කරුවන් ශිෂ්‍යයන් අතර තෝරා ගැනීමට ද මෙහි යෝජනා වේ. සාමය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයට කප්පරකට යෝජනා තිබෙන නමුත්, තවමත් අපි සාමයට වඩා වෛරය අපේ අධ්‍යාපන ක්‍රමය තුළින් උගන්වන්නෙමු.

එම අධ්‍යාපන ප්‍රතිපත්තිය විසින් යෝජනා කරන ලද යහපත් යෝජනා ආරම්භ කළ තැනම ලොප් කරමින් විෂය නිර්දේශය තුළට පෙරටත් වඩා අති බරපතල ලෙස වර්තමානයේ ජාතිවාදය රිංගවා ඇති බව  අධ්‍යාපන අමාත්‍යාංශයේ සමාජ ඒකාග්‍රතාවය සහ සාමය පිළිබඳ ඒකකය නොදන්නවා විය හැකිය.

විශ්ව විද්‍යාල සිසුනට පහර දී ඔවුන්ගේ ගැටුම් විසඳන්නට හඳන අධ්‍යාපන අමාත්‍යවරයාට 10 වසරේ පාඩමක් වන ‘ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ගැටුම් නිරාකරණය’ උගැන්විය යුතුය. එහෙත් මේ ලිපිය ලියැවෙන්නේ ඒ ගැන නොවේ. ජාතිවාදය විෂය නිර්දේශය හරහා ඉගැන්වීම සම්බන්ධවයි.

Minolta DSC

හය වසරේ කතාව

6 වසර ඉතිහාසය පොතේ දෙවැනි පාඩම වන මානව සංවර්ධනයේ මඟ සලකුණු යන පාඩමේ අඩංගු වන්නේ දඩයම් යුගය, එඩේර යුගය, සහ ගොවි යුගය සම්බන්ධ පාඩමකි. ඊට පසුව ඇති පාඩම වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස පිහිටුවීම නොහොත් විජය ප්‍රමුඛ ඉන්දීය සංක්‍රමණිකයන්ගේ පැමිණීම සම්බන්ධ මහාවංශයේ සඳහන් වන පුරාවෘත්තයයි. ලංකාවේ ඇති වන පළමු ශිෂ්ටාචාරය විජයගෙන් ඇති වන එකක් බවට වන ඉතිහාසයේ සංස්කරණය පමණක් 6 වසරේ අධ්‍යාපනය ලබන දරුවාගේ හිසට දමන්නේ මක් නිසා ද?

මෙය මා සිංහල බවට මගේ ඔලුවට දමා ඇති අදහසට සමානය. පියාගේ වාර්ගික අනන්‍යතාවය නිසා දෙමළ, මුස්ලිම් කරනු ලැබූ මගේ යහළුවන්ට සමානය. මවගේ වාසගම, වාර්ගික අනන්‍යතාවය ළමයෙකුට නොලැබෙන්නේ මක් නිසාද? පුද්ගලයෙකුට වාර්ගික අනන්‍යතා දෙකකට හිමිකම් කිව නොහැකි වන්නේ ද?

සිංහල ජාතිය යනු ලාට රටේ විජයගෙන් පමණක් නොව, දකුණු ඉන්දියාවේ දෙමළ ජාතිකයන්ගෙන්, චෝල, පාණ්ඩ්‍ය ආක්‍රමණිකයන්ගෙන්, මුස්ලිම් ජාතිකයන්ගෙන්, වැද්දන්ගෙන්, අරාබි වෙළඳුන්ගෙන්, ග්‍රීක ජාතිකයන්ගෙන්, පර්සියන් ජාතිකයන්ගෙන්, පෘතුගීසි ජාතිකයන්ගෙන්, ලන්දේසි ජාතිකයන්ගෙන් සහ ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් පැමිණ එන ජන වර්ගයකි. මුස්ලිම් සහ දෙමළ ජන වර්ගයන්ට ද මේ කාරණාව පොදු කාරණයකි.

කුමක් හෝ හේතුවක් නිසා මෙම පාසැල් විෂය නිර්දේශයේ රාමායණයේ සඳහන් රාවණා පුරාවෘත්තය සඳහන් නොවේ. විජයාගමනයට පෙර ශිෂ්ටාචාර සම්බන්ධව ලැබෙන පුරා විද්‍යාත්මක සාක්ෂි ගැන සඳහන් නොවේ. කුවේණියගේ කපු කැටීමටත්, යක්ෂ ගෝත්‍රිකයන් මරා දැමීමටත් විජයගේ ආගමනයට පෙර වන ශිෂ්ටාචාරය ලඝු කිරීමකට ලක් වේ.

ලංකාවේ අතීත වෙළෙඳ සබඳතා ගැන, ලංකාවේ පිහිටීම විවිධ ජාතීන් ලංකාව තුළ පදිංචි වීමට බල පෑ බව මුළු විෂය නිර්දේශය පුරාම නොකියන්නේ මන්ද? විජය කුමාරයා යනු ආක්‍රමණිකයෙක් බවත්, ලංකාව වරින් වර ආක්‍රමණවලට ලක්වීම හරහා ද ජනාවාස ගත වූ බවත්, ඒ හරහා විවිධ ජනකොටස් පදිංචි වූ බවත්, සිංහලයා ආර්යයන්ගෙන් පැවැත ඒම අර්ධ සත්‍යයක් බවත්, විවිධ ජන කොටස් සමග සිංහලයා පසු කාලීනව මිශ්‍ර වන බවත් කතා බහට ලක් නොවේ. එපමණක් නොව මේ පාඩමට කලින් සඳහන් වන පාඩමේ දඩයම් යුගය ගැන කතා වෙතත් ඒ සම්බන්ධ ලාංකීය උරුමයක් වන වැදි ජන කොටස ගැන කතා නොවේ.

විෂය නිර්දේශයක මුවාවෙන්, දැනුමේ මුවාවෙන් අප දරුවන්ගේ ඔලුවලට කා වද්දන මිථ්‍යාව කුමක්දැ‘යි මෙහි දී ඇසිය යුතු නොවේ ද? කෙනෙකුට මෙසේ තර්ක කළ හැකිය. එදා සිට අප පිළි ගත් ඉතිහාසයේ සංස්කරණය එයයි. අපගේ පෞඪත්වය අභිමානය ගුලිවී ඇත්තේ ඒ තුළයි. අපගේ ඉතිහාසයේ පුරාවෘත්තයන් ගැන ද අපේ දරුවන් දැන ගත යුතු නොවේ ද? ඔව්, දැන ගත යුතුය. එහෙත් පුරාවෘත්තයන් යනු සත්‍යයම නොවන බව දරුවන්ට ඒ සමගම ඉගැන්විය යුතු නොවේද? එසේම අපට වාසි සහගත වන, අපගේ විශ්වාස පද්ධතිය සමග ගැලපෙන පුරාවෘත්තයන්ම පමණක් නොව, අපගේ විශ්වාස පද්ධතියන්ට අභියෝග කරන පුරාවෘත්තයන් ද අපි ඉගැන්විය යුතුය.

දැන් අපගේ ඉතිහාස විෂය නිර්දේශය සිංහ සීවලී සිංහයා සමග ගොස් දරුවන් හැදූ බවට වන පුරාවෘත්තය උගන්වන්නේ නැත. එය මිථ්‍යාවක් ලෙස බැහැර කරනවාට සැකයක් නැත. එහෙත් ඒ බැහැර කිරීමට හේතුව අපගේ ඉතිහාස පොත් තුළ සඳහන් කරන්නේ නැත. ඉතිහාසයේ පුරාවෘත්ත දෙස විවේචනාත්මකව බැලීමට රටේ දරු පරපුර පොළඹවනු නොමැත්තේ කුමක් නිසා ද?

එකල සතුන් සමග ලිංගිකව හැසිරීම පිළිකුල් දෙයක් නොවූ බවත්, සහෝදර සහෝදරියන් ලිංගිකව හැසිරීම පිළිකුල් දෙයක් නොවූ බවත්, එවැනි සිද්ධි සිංහල ජාතියේ සම්භවය සම්බන්ධ කතාන්දරයක ඇතුළත් කිරීමෙන් පෙනේ. එසේම රජ මාළිගයෙන් පැන යන කුමරියකට, පියකු නැති දරුවන් දෙදෙනෙකු සමග පැමිණ දරුවන්ට රජකම ලබා දෙන ඉල්ලා සිටීමට අවශ්‍ය නම් සිංහයෙකු සමග නිදි වැද දරුවන් ලැබුණේය කීම වඩා යහපත් ප්‍රවේශයක් වනු නිසැකය.

බෞද්ධකම

සිංහලයා යන්න මොහොතකට අමතක කර, මම බෞද්ධයා අනන්‍යතාවය සලකමි. මම බෞද්ධයෙක් ද? ඔව්, මම බෞද්ධයෙක්මි. මම එය තරයේ විශ්වාස කරමි. සිංහලයා යන අනන්‍යතාවය සම්බන්ධ බරපතල ගැටළු ඇති මට බෞද්ධයෙකු විය හැකිද?

අපගේ ඉතිහාසය විසින් මේ රටේ පැවතුණු ආගමික විශ්වාසයන් ජන වාර්ගිකකරණයකට ලක් කර ඇත.

සිංහල = බෞද්ධ

දෙමළ = හින්දු

ඉස්ලාම් = මුස්ලිම්

1880 දශකයේ ප්‍රකාශයට පත් වූ ‘බෞද්ධ ප්‍රශ්නෝත්තර සංග්‍රහය (the Buddhist catechism) නම් පොතේ ආරම්භක පිටුවේම, හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා පවසන ආකාරයට බෞද්ධාගම යනු බටහිර ක්‍රමයේ රෙලිජන් එකක් නොවේ. ‘ආගම’ යනු ‘පැමිණීම’, ‘ප්‍රවේශය’ එසේත් නැත්නම් ‘අවබෝධය’යි. එය බටහිර ආකාරයේ සර්ව බලධාරී දෙවියෙකු කෙරේ ඇති යටහත් පහත් වීමක් හෝ බැඳීමක් නොවේ. ඕල්කට්තුමා ප්‍රකාශ කරන ආකාරයට බුද්ධාගම යනු අවබෝධයට පැමිණීමට ඇති ප්‍රවේශයයි.

හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ලියූ මෙම පොත දකුණේ බෞද්ධ සම්ප්‍රදායේ ඉගැන්වීම් අනුව ලිවූයේ යැයි විශේෂයෙන් විද්‍යෝදය පිරිවෙනේ පරිවෙණාධිපති , ශ්‍රී පාදයේ සහ ගාල්ලේ එවකට සංඝ නායක පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් අගැයීමකට ලක් කර ඇත.

එම පොතේ 4 වන ප්‍රශ්නය වන්නේ බෞද්ධ දෙමාපියන්ට දරුවෙකු වූ පමණින්ම කෙනෙකු බෞද්ධයකු වන්නේ ද යන්නයි. ඔහුගේ පිලිතුර වන්නේ කිසිසේත්ම නැත යන්නයි.

ඇත්ත වශයෙන්ම ලංකාවේ බෞද්ධයන් සිටින්නේ අතිසුළුතරයකි. බහුතරය ලේබල් බෞද්ධයෝ මිසක් සැබෑ බෞද්ධයෝ නොවෙති. උපතින් බෞද්ධ බව ලැබෙන බවට වන මිථ්‍යා මතය සමාජගත කිරීම නිසා අද මෙරට බෞද්ධයෝ අතුරුදන්ව සිටිති. බෞද්ධකම උපතින් ලැබෙන්නක් නම්  ඒ වෙනුවෙන් කෙනෙකුට හිතන්නට දෙයක් නැත.

දෙමළ බෞද්ධයන්,  මුස්ලිම් බෞද්ධයන් මෙන්ම ක්‍රිස්තියානි බෞද්ධයන් ද සැබැවින්ම පැවැතිය හැක්කේ, බෞද්ධාගම හුදෙක් චාරිත්‍ර පිළිපදින, සම්ප්‍රදාය රකින එකක් නොව ජීවිතය සම්බන්ධව අවබෝධයකට පැමිණීමේ දැක්මක් වන හෙයිනි. කුඩා කල සිටම බෞද්ධාගම විෂයක් ලෙස පාසල්වල ඉගැන්වේ. එහෙත් එය වර්තමානයේ හුදෙක් තවත් එක් බටහිර ක්‍රමයේම රෙලිජන් එකක් මිස ජීවිතය දකින දැක්මක් වී නොමැත. මේ රටෙහි බෞද්ධයන් බහුතරයක් සිටියේ නම් අලුත්ගම ගැටුම වන්නේ නැත. බුද්ධාගමට පැමිණෙන්නට නොහැකි වූ, කලහකාරී, වෛරී මේ ලේබල් බෞද්ධයෝ අපගේ නිදහස් (නැති) අධ්‍යාපනයේ ප්‍රතිඵලයෝය.

9 වසරේ කතාව නොහොත් ජාතිවාදය සෘජුව ඉගැන්වීම

9 වසරේ පළමු පාඩම වන්නේ‍ මාතෘ භූමි වන්දනා යන පාඩමයි. දේශානුරාගය ගැන සඳහන් වන ගීත කිහිපයක් වන ‘ලංකා ලංකා පෙම්බර ලංකා’, ‘ලෝකෙන් උතුම් රට ලංකාවයි’‍්, ‘රත්න දීප ජන්මභූමි’‍්, ‘සසර වසන තුරු-නිවන් දකින තුරු- පින් කෙත හෙළ රන් දෙරණේ’, ‘මගේ රටට දළදා හිමි සරණයි’ යනාදී ගීත ගණනාවක් මෙහි සඳහන් වේ.

සිංහල බෞද්ධ දේශානුරාගය අධ්‍යාපනයට එකතු කිරීමේ පැහැදිලි වෑයමක් ඉහත පාඩමේ පෙනේ. කම් නැත. දේශයක ජීවත් වන මිනිස්සු තම දේශයේ දේවල් ගැන ආඩම්බර විය යුතුය. ඒ සම්බන්ධ කවි ගී ලිවිය යුතුය.

 “වීර මී මුතුන් ලෙයින් සාර වූ උදාර වූ මාතෘ භූමියයි

මේ පොළොව සරුසාර වී ඇත්තේ අපගේ මී මුතුන්ගේ රැධිර ධාරාවලිනි. මහ පොළොවෙහි මැණික් ලෙස නිධාන ගත වී ඇත්තේ අභීත දූ පුතුන් ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ජීවිතේ පුදා හෙළූ ලේ කඳයි. දේශය හරහා හමා යන්නේ වීර මී මුතුන් හෙළූ ප්‍රාණ වායුවයි.  (මාතෘ භූමි වන්දනා, 1 පාඩම, 9 වසර පිටු අංක 4)

විෂය නිර්දේශයක පළමු පාඩමට මේ ඇතුළත් කරන යුදකාමී මානසිකත්වය කුමක් සඳහා ද? රුධිර ධාරාවලට මේ තරම් තැනක් දෙන්නේ ඇයි? රුධිරයෙන් මහ පොළොව සරුසාර වනවා යැයි කීම පැහැදිලිවම මිථ්‍යාවකි. මෙහි ඇති කාව්‍යමය අගය කිසියම් විවේචනාත්මක ආකාරයකින් දකිනු වෙනුවට දේශානුරාගය නම් ලේබලය ගසා සිංහල බෞද්ධයන් වෙනුවෙන් යුද වැදීම, ලේ හැලීම සාධාරණීකරණය කිරීමක් මේ හරහා පැහැදිලිවම සිදුවේ.

මේ සාධාරණීකරණය පැහැදිලිවම නැවතත් 11 වන පාඩමේ දී නැවත මතුවේ.

දරුවෙනි, දෙකින් එක බේරෙන්නේ අද හෙට කරන යුද්ධයෙන් තමා. අප අපගේ ජීවිත පුද කරන්නේ රජතුමා වෙනුවෙන් ම නො වේ. රට-දැය-සමය වෙනුවෙන් ද ජීවිත පරිත්‍යාග කළ යුතු ය.

මේ මතුවන්නේ කුමක්ද? අවසන් වූ යුද්ධය සම්බන්ධ පර්සි මහේන්ද්‍රගේ ඉතිහාස සංස්කරණය දරුවන්ගේ හිස තුළට කා වැද්දවීමේ  ඓතිහාසික කුමන්ත්‍රණය මිස වෙන කිසිවක් නොවේ. සිංහල ජාතිවාදය අපොස සා/පෙ විභාගයට වනපොත් කරවා එයට ලකුණු ලබා දීමේ කුමන්ත්‍රණය තිස් අවුරුදු යුද්ධයේ කුමන්ත්‍රණයට වඩා ඉතා බරපතල එකක් බව පර්සි මහත්තයා නොදන්නවා යැයි සිතිය නොහැකිය.

 “සියලූ කුලවල සිංහල සහෝදර-සහෝදරියෝ දැය නම් වෙති. පරම්පරාගත ව පැවතෙන ආගම ප‍්‍රමුඛ බස හා සිරිත්-විරිත් සියල්ල සමය නම් වේ. මේ සියල්ල රක්ෂාවන්නේ රජතුමා නිසා ය. රජතුමාට ප‍්‍රීතිය ඇති වන්නේ මේ සියල්ල ආරක්ෂා වන කල්හි ය. රජතුමාට පක්ෂපාති වීම රටටත්, දැයටත්, සමයටත් පක්ෂපාති වීම නම් වේ.

(9 වසර පෙළපොත(පිටු 89), 11 වන පාඩම, රණ බිම අබියස, ඩබ්.ඒ. සිල්වාගේ විජයබාකොල්ලයෙන් කළ උපුටා ගැනීමකි)

මේ ප්‍රකාශය දකින විට සැබවින්ම රජතුමාට ප්‍රීතිය ඇති වනු නිසැකය. ‘ආයුබෝ වේවා මහ රජාණෙනි…’ වැනි ප්‍රශස්ති ගායකයන්ගේ නමින් මංමාවත් නම් කළ ආණ්ඩුවක් විසින්, ඩබ්. ඒ. සිල්වා ජීවත්ව සිටියා නම් ඔහුට මැති ඇමැති ධූරයක් වත් ලබා දෙනු නිසැකය. රජතුමාට පාසල් දරුවන් ලවා කියවා ගන්නට මීට වඩා හොඳ ප්‍රකාශයක් සොයා ගන්නට වෙන තැනක් තිබේ යැයි මා නොසිතමි. එහෙත් ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේ. යුදමය වශයෙන් එල්ටීටීඊය පරාජය කළ පර්සි තව අවුරුදු 10-15කින් තවත් යුද්ධයක් සඳහා අඩිතාලම දමන බවත්, ඒ වෙනුවෙන් ඔහු සූදු කෙළින්නේ මේ රටේ අධ්‍යාපනය සමග වන බවත් පැහැදිලිවම පෙනෙන හෙයිනි.

ගිරා පෝතක කතාව

අධ්‍යාපනය සාමය මෙන්ම වෛරය සඳහා ද යොදා ගත හැකි බවට අපට ඇති හොඳම උදාහරණය වන්නේ සත්තිකුඹ ජාතකයයි. තද බල සුළඟක් නිසා එකම පවුලේ උපන් ගිරා පැටවුන් දෙදෙනෙක් දෙපසකට ගොස් හොරුන්ගේ ආශ්‍රයෙන් නරක වචන ඉගෙන ගන්නා හැටිත්, තාපසතුමා ආශ්‍රයෙන් හොඳ වචන ඉගෙන ගන්නා හැටිත් අපි කුඩා කල සිටම අසා ඇති කතාවකි.

ගිරවා තවත් අතකට අපට අධ්‍යාපනය සම්බන්ධව කතා කරද්දී වැදගත් වේ. ළමුන් යනු ගිරවුන් නොවේ. ළමුන්ට සිතිය හැකිය. විවේචනය කළ හැකිය. ඉතාම නරක දෙයක් දෙස පවා විවේචනාත්මක ලෙසින් බැලීමෙන් හොඳ දේවල් ඉගෙන ගත හැකිය. අධ්‍යාපන ක්‍රමය තුළට විවේචනාත්මක කුසලතා අවශ්‍ය වන්නේ එහෙයිනි.

විවේචනාත්මක විග්‍රහය සම්බන්ධ කුසලතා දරුවන්ට උගන්වන්නට ඇති හොඳම තැනකි කාලාම සූත්‍රය.

“කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසි මැය, විචිකිත්සා කරන්නට නිසි මැය. සැක කටයුතු තැනම තොපට විචිකිත්සාව උපන. කාලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නොගණුව, පරම්පරා කථායෙනුදු නොගණුව, තෙල මෙසේ වී ලැයි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්‍කග්‍රාහයෙනුදු නොගණුව, නයග්‍රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව, අප සිතා ඉවසා ගත් දෘෂ්ටිය හා සැසැඳෙතැයි ද නොගණුව, (මෙතෙම පූජ්‍යයෙකැයි) භව්‍යරූපතායෙනුදු නොගණුව, මේ මහණ අපට ගුරුහයි ද නොගණුව, කාලාමයෙනි, මේ දහම් කුසල්ය, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහයි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව (පිටුව 336), සූත්‍ර පිටකය , අංගුත්තර නිකාය 01, තික නිපාතය, දුතිය පණ්ණාසක, මහා වග්ගය, පඤ්චම සූත්‍රය (කාලාම සූත්‍රය))

බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කරන විමුක්තිය ලබා ගැනීම සඳහා වන අධ්‍යාපන ක්‍රමය අපගේ පිරිවෙන් තුළ පවා ක්‍රියාත්මක වේ යැයි මා නොසිතමි.

අසා ඇති නිසා, පරම්පරාවෙන් එන නිසා, පොත පතේ තිබෙන නිසා, තර්කයට හෝ න්‍යායට ගැලපෙන නිසා, අපගේ දැක්ම හා ගැලපෙන නිසා, ගරු කටයුතු කෙනෙක් නිසා, ගුරුවරයකු කී නිසා, යමක් විශ්වාස නොකළ යුතු බව ද, යම් කාරණාවක සත්‍ය අසත්‍යතාවය බොහෝ කරුණු විමසා බලා විශේෂයෙන්ම එහි ප්‍රතිඵලය විමසා බලා කටයුතු කළ යුතු බවට බුදුන් දේශනා කරන මෙම සූත්‍රය වර්තමාන ශ්‍රී ලංකාවට බොහෝ සෙයින් අවශ්‍ය වන්නකි. එහෙත් ලේබල් බෞද්ධයෝ කාලාම සූත්‍රයට බිය වෙති. කොතෙක් ද කිවහොත් හාමුදුරුවරු ද මේ සූත්‍රයට බය වෙති. ගුරුවරු ද  තමන් කියන දේ ළමයි විශ්වාස නොකළොත්, සැක කළොත්, අනවශ්‍ය ප්‍රශ්න ඇසුවොත් කියා බිය වෙති. ආණ්ඩුව ද කාලාම සූත්‍රයට බය ය. වෙනස් මතයක් ගැන කතා කරන්නට ඉඩක් නැති රටක කාලාම සූත්‍රය වැනි සූත්‍රයක ඉගැන්වීම් ප්‍රායෝගික කරන්නට බලය අතැ’ති සියල්ලෝම බය වෙති.

පෙළ පොත්වල ඉගැන්වෙන දෑ දෙස විවේචනාත්මකව බලන්නට දරුවන්ට හුරු කෙරෙන්නේ නැත. වඩා බරපතල කාරණය වන්නේ ජාතිවාදී ඓතිහාසික ලේඛන සහ ප්‍රවාද පාසල් විෂය නිර්දේශය ඇතුළත් කිරීම නොව ඒවා දෙස විවේචනාත්මකව බලන්නට සහ මනුෂ්‍යත්වයේ වටිනාකම් මත පිහිටා සිට ඒවා නැවත සිය දැනුමෙන් මනින්නට දරුවන්ට  නූගැන්වීමයි.

අද අධ්‍යාපන යනුවෙන් කෙරෙන්නේ පාඩම් පොතත්, ගුරුවරයා දෙන සටහන් ටිකත් පාඩම් කර නැවත විභාගයට වැමෑරීම පමණි. ළමුන් යනු ගිරවුන් නොව, ළමුන් යනු සිතන්නට පතන්නට හැකි, විවේචනාත්මකව අධ්‍යාපනය ක්‍රමය, පාසල, සමාජය සහ ලෝකය දකින්නට හැකි පිරිසක් බව පැහැදිලිවම අමතක කර ඇත.

අධ්‍යාපනයේ අරමුණ වන්නේ යහපත් මිනිසකු බිහි කිරීම ද නොඑසේ නම්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් කුඩා පිරිසක් ද, දේශපාලනික වශයෙන් අන්ධ, සමාජ වෙනසක් අපේක්ෂා නොකරන, රජය විවේචනය නොකරන, ජාතිය ආගම සම්බන්ධ කුළල් කා ගන්නා බහුතරයක් (ඉහත කී වෛද්‍යවරු සහ ඉංජිනේරුවෝ ද මේ කොටසට අයත් වෙති) ද බිහි කිරීමද යන්න අපි නැවත ප්‍රශ්න කළ යුතුය.

පාසල් පන්තිය තුළ ඇති මෙම කට පාඩම් වැඩවසම් අධ්‍යාපන ක්‍රමය පාවුලෝ ෆෙයරි නමැති දාර්ශනිකයා හඳුන්වා දෙන්නේ බැංකුකරණ අධ්‍යාපනයක් වශයෙනි. බැංකුවක් යනු තැන්පත් කරන තැනක් විනා, මිනිසුන්ට විමුක්තිය ලබා දීම සඳහා වන ක්‍රියාදාමයක් නොවේ. බැංකුකරණ අධ්‍යාපන ක්‍රමය හරහා සිදු කෙරෙන්නේ බැංකුවක මුදල් තැන්පත් කරනවාක් මෙන් දැනුම තැන්පත් කිරීමකි. ඉන් බලාපොරොත්තු වන්නේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන මිස සමාජය යහපත් කිරීම නොවේ. පාවුලෝ ෆෙයරිට අනුව බැංකු කරණ අධ්‍යාපන ක්‍රමයක පහත ලක්ෂණ හඳුනා ගත හැකිය.

  1. ගුරුවරයා උගන්වන අතර, ශිෂ්‍යයාට උගන්වනු ලැබේ.
  2. ගුරුවරයා සියල්ල දන්නා අතර ශිෂ්‍යයා කිසිවක් දන්නේ නැත.
  3. ගුරුවරයා සිතන අතර ශිෂ්‍යයෝ මතක තබා ගනිති.
  4. ගුරුවරයා කතා කරන අතර ශිෂ්‍යයෝ විනීතව ඇහුම්කන් දෙති.
  5. ගුරුවරයා ශිෂ්‍යයන්ට විනය පනවන අතර, ශිෂ්‍යයෝ විනය පිළි පදිති.
  6. ගුරුවරයා සිය කැමැත්ත අනුව තෝරා ගෙන ක්‍රියාත්මක කරන අතර ශිෂ්‍යයෝ එයට අනුකූලව කටයුතු කරති.
  7. ගුරුවරයා ක්‍රියාත්මක වන අතර, ශිෂ්‍යයන්ට තමන් ගුරුවරයාගේ ක්‍රියාව හරහා ක්‍රියාත්මක වන්නේය යන මිථ්‍යාව ඇත.
  8. උගන්වන පාඩම්වල අන්තර්ගතය ගුරුවරයා තෝරා ගන්නා අතර තමන්ගෙන් අදහස් නොවිමසන ලද ශිෂ්‍යයෝ එයට අනුගත වෙති.
  9. ගුරුවරයා දැනුමෙහි බලය තමන්ගේ වෘත්තීය බලය සමග පටලවා ගන්නා අතර ඒ හරහා ශිෂ්‍යයන්ගේ නිදහසට විරුද්ධ වෙයි
  10. ගුරුවරයා ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවන්නන් වන අතර, ශිෂ්‍යයෝ හුදෙක් භාණ්ඩ පමණක් වේ.

(පාවුලෝ ෆෙයරිගේ පීඩිතයන්ගේ අධ්‍යාපනයවේදය නම් ග්‍රන්ථයෙනි)

උගන්වන පාඩමෙහි අන්තර්ගතය තෝරා ගන්නේ සැබවින්ම ගුරුවරයා ද නොව, වර්තමානයේ අධ්‍යාපන අමාත්‍යාංශයයි. විෂය නිර්දේශ හදන අයයි. මේ අධ්‍යාපන ක්‍රමයේ ශිෂ්‍යයෝ ගිරා පැටවුන්ය. තාපසාරාමයට වැටුණු ගිරවුන් යහපත් වචන කතා කරන්නා සේ පාසල් පරිසරය යනු අවිහිංසාව, සාමය, ගරුත්වය, සහයෝගය, සත්‍යවාදීබව, සහකම්පනය ආදී ආකල්ප සහ කුසලතා වර්ධනය කරන තැනක් නම් අධ්‍යාපනය ගිරා පෝතක අධ්‍යාපන ක්‍රමයක් වුව ද කිසියම් යහපතක් වෙතැ’යි අපට කල්පනා කළ හැකිය. එහෙත් අධ්‍යාපනයෙන් හිංසාව, ජාතිවාදය, වෛරය, යුදකාමීත්වය පතුරන කල්හි, සහ ඒ ජාතිවාදය, සහ වෛරයේ නොදැනුම ගිරවුන් සේ වනපොත් කරන කල්හි අපට මේ රට ගලවා ගැනීමට ඇත්තේ එක් පිදුරු ගසක් පමණි. ඒ විවේචනාත්මකව, සත්‍යය, අසත්‍යය, හොඳ, නරක ප්‍රතිඵල ගැන සිතා බලා වැඩ කිරීමේ සහ ඉගෙන ගැනීමේ ප්‍රඥාව සිසු දරුවන්ට ලබා දීමයි.

ඥාන(සාර) කතාව

අලුත්ගම සිද්ධිය අධ්‍යාපන ක්‍රමයට සම්බන්ධ වන්නේ කෙසේද? යන්න මා අවසාන වශයෙන් කතා කරනු කැමැත්තෙමි. ඥානසාර හාමුදුරුවෝ සියලු වෛරය පතුරුවන කතා කිරීමෙන් අනතුරුව, අලුත්ගම කඩවලට අබ සරණ පැතීමෙන් අනතුරුව ජනතාවට සාමකාමීව විසිර යන ලෙස ඉල්ලා සිට ඇත.

මේ ජනතාව ඥානසාර හාමුදුරුවෝ එක් වරම පිටස්තර තැනක සිට අවුත් වෛරී දේශනාවක් කළ සැණින්  එය පිළි ගන්නේ මක් නිසා ද? මේ රැස්වීමට පැමිණි අය සාක්ෂරතාවයක් නොමැති අය නොවේ. ලංකාවේ නිදහස් (නොවන) අධ්‍යාපන ක්‍රමයේ ඵලයන්ය.

ඥානසාර වැනි අන්තවාදීන් පමණක් නොව, ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලද, ඇතැම්විට විශ්ව විද්‍යාල ගුරුවරු පවා මේ ජාතිවාදය නමැති මඩ ගොහොරුවේ වැටී සිටිති. ඇතැම්මුන්ට අනුව ඥානසාර තරමක් ආවේගශීලිව කටයුතු කර ඇති නමුදු, සිංහල බෞද්ධයාට සිංහල බෞද්ධ වීම නිසා කිසියම් ගැටළුවක් ඇත. එහෙත් මේ පිරිසට අනුව යුද ව්‍යසනයට ඉතා තදබල ලෙස මුහුණ දුන්, අසාධාරණකම් ගණනාවකට ලක් වූ සහ අදත් ලක් වන දෙමළාට දෙමළ වීම සම්බන්ධයෙන් ගැටළුවක්  ඇත්තේ නැත. අලුත්ගම සිද්ධියෙන් මේ තරම් බැට කෑ මුස්ලිම් ජනතාවට ද මුස්ලිම් වීම නිසාම මේ රටේ ගැටළුවක් ඇත්තේ නැත.

මේ රටේ ගැටළු නැත්තේ කාට ද? අන්තවාදීන් අන්තවාදීන් ලෙස නොදැක ජාතිය, ආගම අනුව වර්ග කිරීමක් පැහැදිලිවම අද අප රටේ සිදු වේ. මුස්ලිම් අන්තවාදීන් සිටින නිසා, බෞද්ධ අන්තවාදීන් ද සිටිය යුතු බව කෙනෙක් තර්ක කරයි. සැබවින්ම බෞද්ධ අන්තවාදීන් කියා කොටසක් නැත. යමෙක් අන්තවාදී වන මොහොතේම ඒ පුද්ගලයාගේ බෞද්ධකම අවසන් වෙයි. එහෙත් ඒ සරල බෞද්ධාගම උගන්වන්නට අපේ රටේ අධ්‍යාපන ක්‍රමය අපොහොසත් වන්නේ ඇයි? සිංහල, බෞද්ධයාට ප්‍රශ්නයක් තිබේ නම් ඒ ප්‍රශ්නය ඇත්තේ එතැනය. බෞද්ධයන් ප්‍රමාණය අඩු කරන්නේ මුස්ලිම් අන්තවාදීන් නොවේ. අපේ ලේබල් බෞද්ධයන්මය.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යනු මේ රටේ භාවිතා වන භාෂාවන් ය. භාෂාවන්ට අදාළව සංස්කෘතිකාංග, පුරාවෘත්ත, සහ සාහිත්‍යයන් තිබේ. සිංහල භාෂාව කතා කරන විට යමෙක් සිංහල වන්නේ නම්, ඉංග්‍රීසි භාෂාව කතා කරන විට යමෙක් ඉංග්‍රීසි විය යුතුය. ජාතිවාදය යනු මානසික රෝගයක් බවත්, සිංහල, දෙමළ සහ මුස්ලිම් වීම සම්බන්ධව කිසිම තාර්කිත පැහැදිලි කිරීමක් කිසිවකුට කළ නොහැකි බවත් මීට වසර ගණනාවකට ඒ.ඩබ්. අදිකාරම් මහතා ප්‍රකාශ කළේය. ලංකාවේ මිනිස්සුන්ට ලාංකීය කියා ජාතික අනන්‍යතාවයක් ඇත්තේ නැත. සහෝදර මුස්ලිම් මිනිහාට, දෙමළ මිනිහාට නරක ලෙස සලකන ලංකාවේ සිංහල මිනිස්සු ඉතා හොඳින් විදේශිකයන්ට සලකති. ඊටත් වඩා හොඳින් දූෂණ වංචා කරන දේශපාලනඥයන්ට සේවය කරති.

මේ වැඩවසම් මානසිකත්වයට පුහුණුව දෙන්නේ කොතනින් ද? එය අපේ අධ්‍යාපන ක්‍රමයම නොවේ ද?

පැහැදිලිවම මෙතැන දී කිව යුත්තේ අපට අධ්‍යාපන ක්‍රමයක් නැති බවයි. අධ්‍යාපනයේ අරමුණ යහපත් සමාජයක් බිහි කිරීමයි. එය කරන්නට ක්‍රමයක් අපිට නැත්නම්, අපිට අධ්‍යාපන ක්‍රමයක් ද ඇත්තේ නැත. ඥානසාර නම් අබෞද්ධ මැරවරයා මැර ධර්මය දේශනා කරන්නේ එහෙව් රටකටය. අධ්‍යාපනයට ක්‍රමයක් නැති රටක මිනිසුන් මුලාවේ හෙලීම ඉතා පහසුය. කණයා නැති වලට ලූලා කොහොමත් පණ්ඩිතය. මොහොතකට සිංහල, බෞද්ධ වංසය කබල් ගෑම නවතා ලාංකික ජාතිය වෙනුවෙන් එකතු වන්නට අවැසි බව කවදා නම් මේ මුග්ධයන්ගේ මනසට  දැනෙනු ඇත් ද?

මේ වැඩවසම් මානසික රෝගීන් දන්නේ එක දෙයකි. තමන් නිර්මාණය කරගෙන පවත්වා ගෙන දූෂිත, පීඩිත, වංචනික ක්‍රමය හේතුවෙන් පීඩා විඳිති. ඒ පීඩනය අවසානයේ පිට කෙරෙන්නේ සුළුතර ජන කොටස මතිනි. දුප්පතා මතිනි. අඩු කුලයේ පුද්ගලයා උඩිනි. ගෙදර සිටින බිරිඳට බොරු චණ්ඩිකම් පෙන්වීම තුළිනි. එහා ගෙදර මිනිහාට හිනා වීම තුළිනි. බී ගෙන ගහ ගන්නට යාම තුළිනි.

ඔබ සැමට සම්මා දිට්ඨිය පහළ වේවා!

දමිත් චන්දිමාල්

Advertisements

පශ්චාත් යුද සමය තුළ රණවිරුවාගේ සමලිංගිකත්වය සහ ලංකාවේ ලිංගික නිදහස

[පෙරවදන – මෙය කිසි පිළිවෙළක් නැති ලිපියකි. ඕනෑවට වැඩිය දිගය. කරුණු තැනින් තැනින් මතුව ඇත. වටේ දුවයි. එහෙත් මේ ගැන මීට වඩා වෙනස් ලෙසකින් කියන්නට මට නොහැකිය. එසේම මෙය ඔබට ඉදිරිපත් නොකර සිටීම ද මා කරන බරපතල අකටයුත්තක් බවත් මම කල්පනා කරමි. ]

බෞද්ධකම හරහා රණවිරුවා රැවටීම

යුද සමයේ දී රණවිරුවන්ට පින් දී කෙරුණ බෝධි පූජාවකට සහභාගි නොවූ කෙනෙක් නොමැති තරම් ය. බුදු දහමේ ‘පින්’ යනු දෙන්නට හෝ ගන්නට හැකි දෙයක් ද යන්න විවාදාත්මක කාරණයකි. විශේෂයෙන්ම පින් දීමට හැකි නම් පව් ද එලෙස දිය හැකි විය යුතුය.

පන්සිල් පද පහෙන් පළමු වන පදය වන පාණාතිපාතා ශික්ෂා පදය කැඩීමක් යුද්ධයේ දී සතුරන් මරණ සොල්දාදුවන් අතින් සිදු නොවන්නේ ද? සොල්දාදුවන් එසේ ‘පව්’ කරන විට, බෝ ගස්වලට යාඥා කිරීමෙන් එම ‘පව්’ නිදහස් කර ගත හැකි ද?

ගාමණී, යම් ඒ යෝධාජීවයෙක්(යුද්ධයෙන් ජීවත් වන්නෙක්) යුද්ධයෙහි මේ සත්ත්වයෝ “නැසෙත්වා හෝ බැඳෙත්වා හෝ සිඳෙත්වා හෝ වැනසෙත්වා හෝ නොවෙත්වා හෝ”යි උත්සාහ කෙරේද, වෑයම් කෙරේද ඔහුගේ එම සිත පළමුම ළාමකය. නපුරු කොට කරන ලද්දේය. වරදවා පිහිටුවන ලද්දේය. (එසේ) උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත නම් නිරයෙක් වේ නම් එහි උපදී. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ යැ”යි මෙබඳු දිටෙක් වේ නම් ඒ ඔහු මිස දිටු වෙයි. ගාමණී මිසදිටු ගත් පුරිසපුඟුල් හට නිරය හෝ තිරිසන් යෝනිය හෝ දෙගති අතුරෙන් එක්තරා එකක් යැයි කියමි.

මෙය වදාළ කල්හි යෝධාජීව ගාමණී තෙමේ හැඬීය. කඳුළු හෙළීය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට යමක් මෙසේ වදාළ සේක් නම් මේ ගැන මම නොහඬමි. වහන්ස, වැලිදු “යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙක් උත්සාහ කෙරේද, වෑයම් කෙරේ ද, (එසේ) උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ යැ”යි පෙර විසූ ඇජර පැජර යෝධාජීවයන් විසින් දිගු කලක් මුළුල්ලෙහි මම මුළා කරන ලද්දෙමි. රවටන ලද්දෙමි. වරද්දන ලද්දෙමි. (යෝධාජීව සූත්‍රය, ගාමිණී සංයුක්ත- ප්‍රථම වර්ගය, සංයුක්ත නිකාය චතුර්ථ භාගය, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා 16, පිටුව 564-565)

දකුණේ සිංහල බෞද්ධයෝ වන අපි ඕනෑම කෙනෙක් මිය ගිය විට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. එහෙත් ප්‍රභාකරන් මිය ගිය දවසේ අපිට එසේ කරන්නට මතක් වුනේ නැත. අපි කිරිබත් උයා කෑවෙමු. රණවිරුවන්ගේ නම් සහ දේශපාලනඥයන් ගේ නම් දෙවියන්ගේ නම් මෙන් සිහිපත් කළෙමු. ‘රණවිරුවන්’ මුරදේවතාවුන් ලෙස හැඳින්වූයෙමු. නමුත් දැන් ඒ යුගය අවසන්ය. යුද සමයේ මුර දෙවියන්, රණ විරුවන් ලෙස හැඳින්වුණු ඔවුන්ම දැන් නැවත ඉපදීමක් නැතුවම නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන දෙගති අතරින් එකක ඉපිදෙමින් සිටිති. ‘පෙර විසූ (සහ වර්තමානයේ වෙසෙන) ඇජර පැජර යෝධාජීවයන් විසින් දිගු කළක් මුළුල්ලේ මුළා කරන ලද්දා වූ’ සොල්දාදුවන් තවදුරටත් වීරයන් ද යන්න ප්‍රශ්න කළ යුත්තෙමු. ‘ඇජර පැජර දේශපාලනඥයෝ’ හැරුණු විට කිසිවෙක් මේ යුගයේ ශ්‍රී ලංකාව තුළ වීරයන් නොවෙති. සැබවින්ම අපි රණවිරුවන් ගැන කිව්වේ බණ බවත්, දැන් ඇත්ත කියන්නට කාලය හරි බවත්, සංස්කෘතියක් ලෙසම රණවිරුවා මුළා කිරීම සම්බන්ධයෙන් අප සමාව ගත යුතු බවත් මම කල්පනා කරමි.

රණවිරුවාගේ සමලිංගිකත්වය කතා කිරීම

එහෙත් මට කතා කරන්නට අවශ්‍ය වන්නේ එය නොවේ. රණවිරුවාගේ සමලිංගිකත්වය ගැනයි.
සමලිංගිකත්වය ගැන කතා කරතොත් ශ්‍රී ලංකාව තුළ සමලිංගිකත්වයට ඉඩ නොදිය යුතු බවට සිතන බොහෝ දෙනෙක් සිටිති. එය බටහිර සංකල්පයක් බවත්, ලංකාවේ එවැනි දෑ පෙර කාලයේ නොතිබුණු බවත් සිතීම සාමාන්‍ය දෙයකි. ඉතින් රණවිරුවන් වැනි ගෞරවනීය පිරිසක් සම්බන්ධයෙන් සමලිංගිකත්වය ගැන කතා කිරීම පැහැදිලිවම අපහාසයකි. එසේත් නැත්නම් රටේ දේශීයත්වයට එරෙහිව රාජ්‍ය නොවන සංවිධානවල කුමන්ත්‍රණයකි. 2011 සැප්තැම්බර් 25 වන දින ‘සමලිංගිකත්වය පිළිබඳ චෝදනා එල්ල කරමින්, යුද හමුදාව අපකීර්තියට ලක් කිරීමට එන්ජීඕ වෑයමක්’ නමින් රිවිර පුවත්පතේ පළවූ ලිපිය මෙම දැක්මේ ප්‍රබල උදාහරණයකි.

මෙම දැක්ම තුළින් ප්‍රචාරය කරන්නට තතනන මතවාදය කුමක්ද? නිහඬතාවයේ මතවාදයයි. ලිංගිකත්වය අපි කතා නොකරන තරමට අපි සංස්කෘතිකමය වශයෙන් උසස්ය, උසස් සංස්කෘතියෙන් යුතු අප අතර එවැනි දෑ නොවන්නේය වැනි අදහස් බරපතල මිථ්‍යාවන් වන අතර, ඒ හේතුවෙන් තවමත් මේ රට තුළ සිදුවන අපරාධ ගණනාවක් අඳුරේම සිදුවන කතන්දර බවට පත් කර ඇති අතර, කිසිදු සාධාරණයක්, නීතියක් ඉෂ්ට වීමෙන් තොරව එම කතන්දර අඳුරේම වැළළී යාමට සලසනු ලබයි. එසේ අඳුරේ වැළළෙන්නට නොව පුරවැසියකු ලෙස මේ රටේ ජීවත්වන්නට සෑම මනුෂ්‍යයකුටම ඇති අයිතිය තහවුරු කිරීම දියුණු සංස්කෘතියක ලක්ෂණය විය යුතු නොවේ ද?

‘සමලිංගික ලිංගික හැසිරීම’ අනෙකුත් ලිංගික චර්යාවන් මෙන්ම තවත් එක් ලිංගික චර්යාවක් විනා, එය චෝදනාවක් විය යුත්තේ ඇයි? ඕනෑම ජනගහනයක සමලිංගික හැසිරීම්වල යෙදෙන කිසියම් පිරිසක් සිටිති. ශ්‍රී ලංකාව යුද හමුදාව ගත්ත ද එයින් වෙනස් එකක් නොවේ. එහෙත් ‘සමලිංගික චෝදනා’ එල්ල කරමින් හමුදාව අපකීර්තියට ලක්වෙන බවට ප්‍රකාශ කරන්නේ ඇයි? මා ඉහත සඳහන් කළ ලිපිය පළ වන විට යුද හමුදාව විසින් සිදු කළේ යැයි ප්‍රකාශ කරන ලිංගික අපරාධ සම්බන්ධ තොරතුරු ප්‍රසිද්ධියට පත් වී නොතිබුණි. එහි සඳහන් කරන්නේ හමුදාව විසින් අනුරාධපුර පූජා නගරය තුළ සමලිංගික ලිංගික වෘත්තිකයන්ගේ සේවය ලබා ගන්නා බවට වූ කිසියම් පර්යේෂණ වාර්තාවකින් හමුදාවට අපහාස වන බවයි. 2008-2009 එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ එච්අයිවී ඒඩ්ස් සම්බන්ධ විශේෂ සැසිවාරය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ 35,000-47,000 ක ලිංගික වෘත්තිකයෝ ප්‍රමාණයක් සිටින අතර, වැඩිහිටි පිරිමි ජනගහණයෙන් 3.5%ක් එම ලිංගික වෘත්තිකයන්ගේ පාරිභෝගිකයෝ වෙති. එම පාරිභෝගිකයන් අතරින් කිසියම් පිරිසක් හමුදා සෙබළුන් වීම අරුමයක් නොවේ. එසේම අනුරාධපුරය යනු ගම්බිම්වල සිට පැමිණෙන හමුදා සෙබළුවන් උතුරට යෑමටත්, උතුරේ සිට පැමිණ ගම්බිම් බලා යාමටත් භාවිතා කළ කිසියම් මධ්‍ය ස්ථානයක් වන අතර එවන් ස්ථානයක ලිංගික වෘත්තිකයන් සඳහා හොඳ ඉල්ලුමක් තිබීම ද අරුමයක් නොවේ. එලෙසම මාස ගණනක් තිස්සේ යුද්ධයේ නියැලෙන සෙබළුන්ට ගම්බිම් බලා යාමට පෙර මාස ගණනක් හිරවී තිබුණු ලිංගික හැඟීම් මුදා හැරීමත්, උතුරට ගොස් මාස ගණනකට හැඟීම් හිර කර ගන්නට පෙර හොඳ ලිංගික අත්දැකීමක් ලබා යාමත් ඉතා හොඳ කටයුත්තකි. සමලිංගිකව හැසිරීමට කැමති හමුදා සෙබළුන් සමලිංගික ලිංගික ශ්‍රමිකයන් යොදා ගැනීම අරුමයක් ද නොවන අතර, එවැනි චර්යාවක් පැවතීම සාමාන්‍ය දෙයක් ලෙසින් දකින්නට අපට ඇති නොහැකියාව අප සංස්කෘතියේ පවතින අර්බුදයේ කොටසකි. ‘සමලිංගික චෝදනා’ ගෙනැවිත් යුද හමුදාව අපකීර්තියට පත් කරන බව කියවෙන්නේ ඒ අර්බුදයේ කොටසක් ලෙසය.

යුද හමුදාවට එරෙහි සමලිංගික යුද අපචාර චෝදනා

එහෙත් සැබෑ ‘සමලිංගික චෝදනා’ ගැන අප කතා නොකර සිටිමු. යුද හමුදාව විසින් එල්ටීටීඊ සැකකරුවන්ට සිදු කරන ලද සමලිංගික ලිංගික හිංසනයන් ගැන දකුණේ කිසිදු පුවත්පතක යන්තමින් හෝ පළ වූ බවක් මා දුටුවේ නැත. යුද හමුදාවට අපහාස වන නිසා හෝ ජිනීවා යෝජනා ගැන මිථ්‍යා මත පැතිර වීමේ කොන්ත්‍රාත්තුවේ කොටස්කරුවන් ලෙස ජනමාධ්‍යයට ද සුවිශේෂී තැනක් හිමි වන නිසා අපි ඒ ගැන කතා නොකර සිටිමු.

“මට හොඳටම පහර දුන් අතර, පයින් ගසනු ලැබිණි, මිට මොලවා පහර දෙනු ලැබිණි. නිලධාරිහු මට හමුදා සපත්තු වලින් ද, බෙල්ට්වලින් ද පහර දුන්හ. එක් නිලධාරියෙක් මට ඔහුගේ රයිෆලයේ පිටුපස කොටසින් පහර දුන්නේය. දිගටම ඔවුහු මගෙන් ප්‍රශ්න ඇසුවහ.

රාත්‍රියේ මා කුඩා කුටියක තනි කෙරිණි. සිවිල් ඇඳුමෙන් සැරසුණු එක් නිලධාරියෙක් මගේ කුටියට පැමිණියේය. ඔහු මට සිංහලෙන් කතා කළ අතර මගේ ඇඳුම් ඉවත් කිරීමට බල කළේය. ඔහු ඔහුගේ කලිසම ගැලවූ අතර මා සමග මුඛ ලිංගික ඇසුරක හැසිරෙන්නට උත්සාහ කළේය. මා මෙයට අකැමැති නම් ඔහු මට වද දෙන බව ඔහු ප්‍රකාශ කළේය. ඔහු මට “බල්ලා” යැයි කියමින් බැන වැදුනු අතර, මා දූෂණය කළේය. මා වේදනාවෙන් කෑ ගැසූ නමුත් කිසිවෙක් මගේ උදව්වට නොපැමිණියහ. ඔහු මගේ තට්ටමට ද මගේ කලවාවලටද පහර දුන්නේය. අනතුරුව ඔහු මගේ ඇඳුම් ද රැගෙන කාමරයෙන් නික්ම ගියේය. මා මුළු රාත්‍රියම සිටියේ නිරුවතිනි.”

හියුමන් රයිට්ස් වොච් ආයතනය ඩීබී සමග සාකච්ඡාව 2011, දෙසැම්බර් 28, උපුටා ගැනීම ‘අපි ඔබට පාඩමක් උගන්වන්නෙමු’ ලංකාවේ දෙමළ ජාතිකයන්ට එරෙහිව ආරක්ෂක හමුදා විසින් සිදුකළ ලිංගික හිංසනයන්’ පිටුව 77)

කිසියම් හමුදා සෙබළකු විසින් මෙවැනි යුද අපරාධ සම්බන්ධයෙන් වැරැදිකරුවකු නම් ඒ ගැන නිසි සොයා බැලීම් සිදු කර දඬුවම් කිරීම අවශ්‍යයෙන්ම සිදු කළ යුතු නොවේද? යුද සිරකරුවන්ට සමලිංගික හෝ විෂම ලිංගික අපචාර සිදුකිරීම යනු සමලිංගිකත්වයෙන් බොහෝ සෙයින් වෙනස් එකක් වන අතර එවැනි ක්‍රියා හිංසනයේ සහ අමානුෂිත්වයේ බරපතලම ස්වරූපයන් ලෙසින් අප එය සැලකිය යුතුය.

ශ්‍රී ලංකා හමුදාවේ ලිංගික හැසිරීම් ගැන වරින් වර මාධ්‍යයේ සාකච්ඡාවට බඳුන් විණි. අනුරාධපුර පූජා නගරයේ වාණිජ ලිංගික වෘත්තිකයන් පැවැති සම්බන්ධකම්, සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සම්බන්ධව ඔවුනට ඇති අවදානම සම්බන්ධව මෙන්ම, මෑත දී යුද්ධයේ අවසාන සමයේ සිදු වූ ලිංගික අතවර, යුද්ධයෙන් පසුව අල්ලාගත් එල්ටීටීඊ සැකකරුවන්ට සිදු වූ ලිංගික අතවර සම්බන්ධව කිසියම් සාකච්ඡාවක් ජනමාධ්‍ය තුළ වරින් වර ඇති විය. යුද්ධයත් සමග සම්බන්ධ වූ මේ ලිංගික අතවර බොහෝ සෙයින් මාධ්‍යයේ වාර්තා වූයේ තරුණියන්ට, සහ බාල වයස්කාර දැරියන්ට සිදු වූ ලිංගික අතවර වශයෙනි. එහෙත් මෑත දී හියුමන් රයිට්ස් වොච් ආයතනයෙන් නිකුත් කළ ‘අපි ඔබට පාඩමක් උගන්වන්නෙමු’ ලංකාවේ දෙමළ ජාතිකයන්ට එරෙහිව ආරක්ෂක හමුදා විසින් සිදු කළ ලිංගික හිංසනයන්’ යන වාර්තාවේ කාන්තාවන් 41දෙනෙකුට, පිරිමි 31දෙනෙකුට, අවුරුදු 18ට අඩු පිරිමි ළමයි තිදෙනකුට සිදු වූ ලිංගික අතවර ගැන සඳහන් කරයි.

යුද්ධය තුළ සමලිංගික ලිංගික අපචාර න්‍යායගත කිරීම

යුද්ධයේදී විෂමලිංගික අතවර සේම සමලිංගික අතවර වැදගත් වන්නේ කෙසේද? සන්දේශ් සිවකුමාරන් (2007) ‘සන්නද්ධ ගැටුම්වල දී පිරිමින්ට එරෙහි ලිංගික හිංසනය’ යන ලිපියේ සඳහන් කරන පරිදි යුද්ධය යනු යම් ලෙසකින් පිරිමිබවේ ප්‍රකාශනයක් වන අතර ලිංගික හිංසනයන් යනු බලය සහ ආධිපත්‍යය පෙන්වන ක්‍රම වේ. අප ජීවත් වන පුරුෂ මූලික සමාජය තුළ කාන්තාවන් ආරක්ෂා කර ගැනීම පැවරී ඇත්තේ පිරිමියාටය. කාන්තාවට ලිංගික අතවර කිරීම, පුරුෂයන්ට ඔවුන්ට තමන්ගේ කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට ඇති නොහැකියාව සම්බන්ධ වක්‍ර සන්නිවේදනයක් වන අතර, පිරිමින්ට ලිංගික අතවර කිරීම ඔවුන්ගේ පිරිමිකම සෘජුවම ප්‍රශ්න කරන සන්නිවේදනයකි. මෙසේ බලන කල්හි ලිංගික අපචාර යනු යුද්ධයේ දී ආයුදයකි. විශේෂයෙන්ම අල්ලා ගත් සැකකරුවකු මානසිකව වැට්ටවීමට ඇති ප්‍රබලම අවියක් ලෙස ලිංගික අපචාර ප්‍රයෝජනවත් විය හැකිය. හියුමන් රයිට්ස් වොච් ආයතනයෙන් නිකුත් කළ මා ඉහත සඳහන් කළ වාර්තාවේ බොහෝ පිරිමි තමන් එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධව වැඩ කළ බවට පාපොච්චාරණය කර ඇත්තේ එලෙස කිහිප වරක් ලිංගිකව දූෂණය කිරීමෙන් අනතුරුවයි.

මෙම ලිංගික අපයෝජනයන් එම බලය සහ ආධිපත්‍යය පිළිබඳ පවතින සන්නිවේදනයක් ලෙස සේම, එය අපේ සංස්කෘතික පසුබිම හා සම්බන්ධ වන කාරණාවක් ලෙස ද අධ්‍යනය කළ යුතු වේ. මන්ද යත් බලය සහ ආධිපත්‍යය බිහිවන්නේ සංස්කෘතිය තුළින් වන බැවිනි.

එසේම දුබලයා තම ලිංගික අවශ්‍යතා සඳහා බලෙන් යොදවා ගන්නේ ද තවත් එක් දුබලයෙක් මිස වෙනකෙක් නොවන බවත්, දුබල මිනිසකුට හිරිහැර කිරීම හරහා තමාට බොහෝ තැන්වලින් අහිමි වන බලය නැවත මොහොතකට හෝ ප්‍රතිස්ථාපනය කර ගැනීමේ ස්වයං වින්දනාත්මක අවිඥානික මිථ්‍යාව මෙවැනි අපචාර තුළින් තවත් අතකට ප්‍රකට වන මෙහිදී ප්‍රකාශ කළ යුතු අතර, සංස්කෘතියක් වශයෙන් අපට ඇති දුබලතාවයන් ගණනාවක් මේ යට තිබේ.

විශේෂයෙන්ම සිංහල බෞද්ධකම තුළට අප යටත් විජිත සමයේ එක් කර ගත් වික්ටෝරියානු වටිනාකම්වල ප්‍රතිඵලයක් ලෙස අප අපේ ලිංගිකත්වය සම්බන්ධ හැඟීම් මැඩ පවත්වා ගෙන සිටින බව බොරුවට ප්‍රකාශ කිරීමටත්, රඟ පෑමටත් පුරුදුව සිටිමු. ලිංගික අවශ්‍යතාවයන් සහ ලිංගිකත්වයන් ගැන විවෘතව කතා කිරීමට සමාජයක් ලෙස බය වන අපි, බලය අයුතු ලෙස යොදා ගනිමින් ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමට සංස්කෘතියක් ලෙසම පුරුදුව සිටිමු. විවාහය තුළ බිරිඳ දූෂණය කරන, බිරිඳ නොමැති විට දියණිය දූෂණය කිරීම සිදු කරන පියවරු සිටින, සිය දරුවා පාසැලට ඇතුළත් කර ගැනීමට විදුහල්පති ට ලිංගික අල්ලස් දීමට සිදුවන මව්වරු සිටින සංස්කෘතියක, සතුරා දූෂණය කරන සොල්දාදුවෙකු යන්න සාමාන්‍ය කාරණයක් බව පැහැදිලිව හඳුනා ගත යුතුය. තම බිරිඳ හැර දා යුද පිටියට යන සොල්දාදුවාට රටේ ආරක්ෂාව තබා බිරිඳගේ ආරක්ෂාව ගැන ඇත්තේ කුමන නම් හැඟීමක් ද? යුද්ධ කරන සොල්දාදුවාට බෝධි පූජා තැබූ පමණින් ‘පින්’ ලැබෙන බව ප්‍රකාශ කරමින්, රණවිරු ගීත ගයමින්, මිථ්‍යාවන් සමාජගත කරන්නට තැතනුව ද, රණවිරුවාට යුද්ධය පවතින සමයේ ද, ඉන් අනතුරුව ද මුළු මහත් සමාජයෙන්ම ලැබුනේ කුඩම්මාගේ සැලකිලි බව මතක් කළ යුතුය.

යුද්ධය පවතින සමයේ රණවිරුවෝ රස්සාවක් නැති නිසා, රට වෙනුවෙන් නොව, පඩිය වෙනුවෙන් මැරෙන්නට වුවත් යන, සමාජයේ පහළම පන්තියේ පුද්ගලයන් බවට පත් වූ අතර, යුද්ධය අවසන් වූවාට පසු උයන්වතු පිරිසිදු කරන, ගොඩනැගිලි හදන, නිළධාරිවාදයේ සහ දේශපාලනයේ නිරන්තර ගොදුරු බවට පත් වුනු සිතන්නට මොළයක් නැති, හුදෙක් අණ පිළිපදින පිරිසක් බවට පත් වූහ. බොහොමයක් රණවිරු සෙබළුනට එල්ටීටීඊ සැකකරුවා හමුවේ මිස ඉහළ බලයක්, තමන්ගේ ගෙදරවත් තිබුනේ ද, තිබෙන්නේ ද යන්න සැබවින්ම ප්‍රශ්න කළ යුතුය.

සෑම විටම අඩු බලයක් ඇති තැනැත්තා වැඩි බලයක් ඇති තැනැත්තාගේ ලිංගික හිංසනයේ මෙන්ම වෙනත් ආකාරයන්හි විවිධ සූරා කෑම්වල ද ගොදුරක් බවට පත් වීම සාමාන්‍යයෙන් අප සමාජයේ පිළිගත් ක්‍රමය වේ. සමලිංගිකයන් ගත් කළ ඔවුන් විරුද්ධලිංගිකයන් ඉදිරියේ අඩු බලයක් ඇති පිරිසකි. ඔවුන්වද හිංසනයට ලක් කිරීම එල්ටීටීඊ සැකකරුවන් හිංසනයට ලක් කිරීම මෙන්ම අපට සංස්කෘතිකව, සහ නීත්‍යානුකූලව සාධාරණීකරණය කළ හැකිය.

සමලිංගික රණවිරුවන් සාමයෙන් අවතැන් කිරීම

ඒ කාලයේ අපි රණවිරුවාට සිංහල බෞද්ධ රාමුවක් හැදුවෙමු. ඒ සිංහල බෞද්ධ රාමුවට රණවිරුවා විසින් ‘සතුරන් මැරීමෙන් ප්‍රාණඝාතය සිදු කරන’ බව ඇතුළත් කිරීමට අපිට නොහැකි වූවා සේම, විවිධත්වයකින් යුත් රණවිරුවාගේ ලිංගිකත්වය ද ඇතුළත් කිරීමට ද අපට නොහැකි විය. ඇතැම් විට එසේ අප සිදු කළේ රණවිරුවාගේ ලිංගිකත්වය යුද්ධය සඳහා වැදගත් නොවී නිසාය යන්න ද අපට ප්‍රකාශ කළ හැකිය. එහෙත් ඇත්තෙන්ම එය එසේ වීද?

හමුදා විනය විසින් ලිංගික අපරාධ ලෙස සලකන්නේ මොනවාද? බොහෝ විට හමුදා නිලධාරීන් අතර කැමැත්තෙන් සිදු කෙරුනු ලිංගික හැසිරීම්ය. තිස්ස අත්තනායක මහතාගේ නිල වෙබ් අඩවියේ 2014 මැයි 20 දින පළ වූ ප්‍රකාශයකට අනුව “සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින අවධියේ වත්මන් යුද හමුදාපතිවරයාට එරෙහිව සමලිංගික සේවනය පිළිබඳ චෝදනා එල්ල වූයෙන් ඔහු සහ ඔහුගේ පෞද්ගලික සහකාරවරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමට සිදු විය. මෙම පරීක්ෂණ ආරම්භ වී කෙටි කලකින් හමුදාවේ තවත් නිලධාරීන් ගණනාවක් අභිභවා හමුදාපති ධූරය ලබා ගැනීමට වත්මන් යුද හමුදාපතිවරයා සමත් විය. ඒ අනුව ඔහුට පැවැති පරීක්ෂණ අවසන් වූයේය.” ඇත්ත වශයෙන්ම මේ කාරණයේදී හමුදා විනය පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ අදාළ නිලධාරියා තම නිල බලය අයුතු ලෙස යොදා ගනිමින් පහළ පෙළේ නිලධාරියා සමලිංගික කටයුතු සඳහා පොළඹවා ගත්තේ ද යන කාරණය සොයා බැලීමට විනා, වැඩිහිටියන් අතර කැමැත්තෙන් සිදුවන ලිංගික කටයුත්තක් නැවැත්වීමට නොවිය යුතුය. අදාළ නිලධාරියා සේම, ඔහුගේ පෞද්ගලික සහකාරවරයාට ද යන දෙදෙනාටම විරුද්ධව චෝදනා ගොනු කිරීමෙන් පෙනී යන්නේ අදාළ විනය පරීක්ෂණයේ අරමුණ වූයේ සමලිංගික කටයුත්ත සඳහා දඬුවම් කිරීම විනා තම නිල බලය වැරැදි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් දඬුවම් කිරීම නොවන බවයි. යටත් විජිත සමයේ පැවතුණු බ්‍රිතාන්‍ය හමුදා විනය පද්ධතියේ සමලිංගික හැසිරීම් සලකන ලද ආකාරයෙන් වර්තමාන ලංකාවේ හමුදා නීතිය සැලකිය යුතු මට්ටමින් වෙනස් වන්නේ නිල බලය හා දේශපාලන සම්බන්ධකම් මත නීතිය හරවා ගත හැකි වීම සම්බන්ධ කාරණයේ දී පමණි. වික්ටෝරියානු වටිනාකම් මත පදනම් වූ නීති අද ද ලාංකීය හමුදා පද්ධතිය තුළ පවතින බවට කදිම උදාහරණයකි මෙය. සමලිංගිකත්වය ගැන වික්ටෝරියානු යුගයේ බ්‍රිතාන්‍ය හමුදාව තුළ පැවැති අන්තගාමීත්වය ගැන හොඳම උදාහරණය වන්නේ ලංකාවේ සේවයේ යෙදවුණු විශිෂ්ට බ්‍රිතාන්‍ය යුද නිලධාරියකු වන මේජර් ජෙනරාල් සර් හෙක්ටර් ආචිබෝල්ඩ් මැක්ඩොනල්ඩ් මහතා 1903 වසරේ දී කළ සිය දිවි නසා ගැනීමයි. ඔහුට තිබුණු චෝදනාවන් ළමා අපයෝජනයන් ලෙස සලකා නිසි පරීක්ෂණ පවත්වනු වෙනුවට ඔහු සමලිංගිකයකු බව කරුණු ඔප්පු වීමටත් පෙර ප්‍රකාශ කරමින් ඔහුගේ සිය දිවි නසා ගැනීමට බ්‍රිතාන්‍ය රජය මං පෑදූ අතර, ඔහුගේ නිරවද්‍යතාවය සම්බන්ධ කරුණු ඔහුගේ මරණයින් පසුව අනාවරණය විය.

ලාංකීය දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ අස්වාභාවික හා බරපතල අශෝභන ක්‍රියා ලෙසින් හඳුන්වන සමලිංගික ක්‍රියාවන් තවමත් ලංකාව තුළ සැලකෙන්නේ අපරාධයක් වශයෙනි. එක් දහස් අටසිය ගණන්වල බ්‍රිතාන්‍ය යටත් විජිතවලට හඳුන්වා දුන් මෙම නීතියෙන් අද බ්‍රිතාන්‍යය නිදහස්ව සිටින අතර, අප එම බටහිර නීති දේශීයකරණය කර ගෙන සිටිමු.

තවමත් සමලිංගික සම්බන්ධකම් සමාජයෙන් අනුමත නො කිරීම නිසා ආරක්ෂක අංශ නිලධාරීන් අතර සිය දිවි නසා ගැනීම් සිදු වන බවට 2013 මාර්තු මාසයේ මහියංගණ ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයෙන් වාර්තා වන පොලිස් නිලධාරියකුගේ සහ හමුදා සොල්දාදුවකුගේ ද්විත්ව සිය දිවි නසා ගැනීම් සම්බන්ධ සිද්ධියෙන් පැහැදිලිව පෙනේ. මෙම සිද්ධියේ දී අදාළ ආරක්ෂක හමුදා සොල්දාදුවාගේ සහ පොලිස් නිලධාරියාගේ නම, ලිපිනය, වයස ඇතුළු සියලු විස්තර එක්තරා බ්ලොග් ප්‍රවෘත්තියක් හරහා එළි දක්වා ඇති අතර, ඔවුන් සමලිංගික සේවනයට ඇබ්බැහි වූවන් ලෙස දක්වමින් මියගිය ඔවුනට සහ ඔවුනගේ පවුලේ අයට ඇති පෞද්ගලිකත්වයට ඇති අයිතිය සම්පූර්ණයෙන් නැති කර තිබේ.

එසේම 2013 දෙසැම්බර් 08 වැනිදා මව්බිම පුවත්පතේ හමුදාවෙන් පැන ගොස් එකට පවුල් කෑ හමුදා සෙබළියන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමක් ගැන ද සඳහන් වේ. ඔවුන් අත් අඩංගුවට ගැනෙන්නේ හමුදාව හැර යාම සම්බන්ධ චෝදනා යටතේ වුව ද ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වන්නේ සමලිංගිකත්වයට ඇති සමාජ විරෝධයයි. සමලිංගිකභීතිකාවයි. මෙම සිද්ධීන් සැලකුවහොත් ඒවා මා පෙර සඳහන් කළ ලිංගික බලහත්කාරකම් නොවන අතර, හමුදා සෙබළ සෙබළියන් අතර ඇති වූ සමලිංගික ආදර සම්බන්ධකම් සම්බන්ධ සිද්ධි බව පැහැදිලිව පෙනේ.

තම සමලිංගික ප්‍රේමය අනුමත නොකිරීම හේතුවෙන් සිය හමුදා සෙබළ පෙම්වතියගේ මවට තවත් හමුදා සෙබළියක් විසින් ඇසිඩ් ගැසීමේ සිද්ධියක් ද 2013 දෙසැම්බර් 29 වැනි දින දිවයින පුවත්පත විසින් වාර්තා කොට ඇත. ඇසිඩ් ගැසීම හෝ එවැනි කිසිදු හිංසාකාරී ක්‍රියාවක් අපට අනුමත කළ නොහැකි වුවද, ඒ කාරණය පිටුපස අනෙකුත් හේතු සාධක සම්බන්ධයෙන් අවධානය යොමු කළ හොත් අපට පැහැදිලිව පෙනෙන කාරණයක් වන්නේ ලිංගික නිදහසින් තොර සමාජයේ අහිතකර ප්‍රතිවිපාකයන්ම මිස වෙනකක් නොවේ.

මිලිටරිකරණය කළ ලංකාව තුළ ලිංගික නිදහස ප්‍රශ්න කිරීම

සතුරාට එරෙහිව යුද්ධය මෙහෙයවද්දී සමලිංගික සොල්දාදුවා තැබූ වෙඩි උණ්ඩය විෂමලිංගික සොල්දාදුවා තැබූ වෙඩි උණ්ඩයෙන් වෙනස් වූයේ නැත. එහෙත් යුද්ධය දිනූ පසු සමලිංගික සොල්දාදුවා යනු සමාජයේ පහළම ස්ථරයට වැටුණු කෙනෙකි. සමාජයේ කොන් කිරීමට ලක් වූවෙකි. දේශපාලන සම්බන්ධතා මත, බල පුළුවන්කාරකම් මත ඇතැමෙකුට සිය ඉරණම වෙනස් කර ගත හැකි වුව ද බොහෝ දෙනෙකුට තවමත් එය කළ නොහැකිය.

එහෙත් එල්ටීටීඊ සැකකරුවෙකුට වැනි පුද්ගලයෙකුට සමලිංගික අතවර කරමින්, පහර දෙමින් විනෝද වෙන ලිංගික හිංසකයා හමුදා සංස්කෘතිය තුළ ආරක්ෂිතය. හිංසකයා ආරක්ෂා කරමින්, ආදරය කරන්නාට හිරිහැර කිරීම මිලිටරි සංස්කෘතියේ පමණක් නොව වත්මන් ශ්‍රී ලාංකීය සංස්කෘතියේම කොටසක් වේ. ලිංගික නිදහස ගැන කතා කිරීම සැබවින්ම, නිදහස ගැන කතා කිරීමකි. ‘නිදහස’ ගැන නොදන්නා ජනතාවකට, ‘නිදහස්’ සංස්කෘතියක් නොමැති රටකට සමලිංගිකත්වය වැනි දෙයක් නිදහසේ පිළිගන්නට නොහැකියාවක් පවතී. ඒ නොහැකියාව නිසා ඇති වන්නේ සංස්කෘතික සංවර්ධනයක් නොව, සංස්කෘතියේ මෙන්ම සංවර්ධනයේ ද බරපතල පසු බැසීමකි. කම්කරුවන් මෙන් හමුදාව යොදා උයන්වතු අතු ගෑම, ගොවිපළ කර වීම, ආපනශාලා පවත්වා ගෙන යාමට වඩා පශ්චාත් යුද සමයක හමුදාවේ යහපත වෙනුවෙන් ගත යුතු ක්‍රියා මාර්ග රැසක් තිබෙන තවදුරටත් මතක් කළ යුත්තේ ය. පශ්චාත් යුද සමයේ ‘ලිංගිකත්වය’ සම්බන්ධ කතිකාවතක් ඇති කළ යුතු බවට මා ගෙනෙන යෝජනාව බොහෝ දෙනෙකුට විකාරයක් ලෙස පෙනිය හැකි නමුදු යුද සමයේ නිර්මාණය කළ බොහෝ බැමි, බාධක හරහා සිර කළ සොල්දාදුවන්ගේ සිර වුණු මනස එළියට ගෙන වුත් මිලිටරීකරණය වෙනුවට නිදහස පිළිබඳ සාකච්ඡාවක් ඇති කිරීම අතිශය වැදගත් පියවරක් වනු ඇත.

එහෙත් ඒ අතරම එවන් සාකච්ඡාවක් අවසන් වශයෙන් වාරණය වන්නේ කොතනින්ද යන්නත් අප පැහැදිලිව අවබෝධ කර ගත යුතුය. ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ මානව හිමිකම් කොමිසමේ ක්‍රියා සැලැස්ම තුළට සමලිංගිකත්වය අපරාධහරණය (අපරාධ නීති පොතින් ඉවත් කිරීම) කිරීම මුලින් ඇතුළත් වී තිබූ නමුදු, 2011 වසරේ සැප්තැම්බර් මස ජනාධිපතිතුමාගේ අණින් කුණු කූඩයට විසි වුනේ ය. බැලූ බැල්මට මෙය ඉතා හොඳ යැයි ද ලංකාවේ සංස්කෘතිය ආරක්ෂා කිරීමට ජනපතිතුමා කැප වී සිටින සෙයක් ද යමෙකුට පෙනෙනු ඇත. කුහක වික්ටෝරියානු වටිනාකම් දේශියත්වය සහ සංස්කෘතිය යන ලේබලය යටතේ අලවා සමලිංගිකභීතිකාව ද මිලිටරිකරණය ද සමග මිශ්‍ර කොට ජනතාව වෙත ඉදිරිපත් කරන්නේ ඉහළම තැනින් බවත්, රාජ්‍ය මාධ්‍ය සහ සිංහල බෞද්ධ කියා ගන්න මිථ්‍යා දෘෂ්ටිකයන් විසින් පෙන්වන මායාවෙන් එහා දකින්නට අද ලංකාවේ සිටින බොහෝ දෙනෙකුට සවියක් නොමැති බවත් අප තේරුම් ගත යුතුය.

ෆූකෝ මෙසේ ප්‍රකාශ කරයි “පුරාණ කාලයේ පටන්ම මැඩ පැවැත්වීම යන්න ඇත්ත වශයෙන්ම බලය, දැනුම සහ ලිංගිකත්වය අතර පැවතුනු මූලිකම සම්බන්ධය වූයේ නම්, ලොකු කැපකිරීමක් කිරීමකින් මිස අපට අපව නිදහස් කර ගැනීමට ඇති නොහැකියාවේ හේතුව ද එයම වේ: නීති පද්ධතියේ සුවිශේෂ වෙනස්කම් සිදු කිරීම, වාරණය කළ දෑ ඉවත් කිරීම, කතාබහේ හදිසි විප්ලවයක් ඇති කිරීම, යථාර්ථය තුළ සතුට නැවත පිහිටුවීමෙන්, සහ බලයේ යාන්ත්‍රණයන් තුළ පවතින සම්පූර්ණ නව ආර්ථිකයම ඒ සඳහා අවශ්‍යවේ. (මිෂෙල් ෆූකෝ, ලිංගිකත්වයේ ඉතිහාසය, පළමු වෙළුම)”

යුද්ධයෙන් අනතුරුව අපට ‘නිදහස’ යැයි යමක් ලබා දුන් බව දේශපාලනඥයන් විසින් ප්‍රකාශ කළ ආකාරය අපට මතක ඇති අතර, අප ඒ වෙනුවෙන් රණවිරුවන්ට තුති පුදා සංගීත සංදර්ශන හා බෝධි පූජා කළෙමු. එහෙත් අද වන විට අපට එවන් ‘නිදහසක්’ ලැබී නොමැති බව ප්‍රත්‍යක්ෂයෙන්ම පෙනෙන අතර ‘රණවිරුවන්’ කළේ එල්ටීටීඊය සමග යුද්ධය අවසන් කිරීම පමණක් බවත්, අපට දිනා දුන් ‘නිදහසක්, හෝ සාමයක්’ නොමැති බවත් පැහැදිලිව පෙනේ. අපගේ ‘නිදහස’ පවතින රෙජීමයේ ඕනෑ එපාකම් පරිදි පහසුවෙන්ම සීමා කළ හැක්කකි. එහෙත් අපගේ ‘නිදහස’ ලබා නොදීම සම්බන්ධව, රෙජීමයට විරුද්ධව විවේචනයක් ගෙන එන අතරම, අප සංස්කෘතිය සම්බන්ධ විවේචනයක් ද ඒ අතරම ගෙන ආ යුතුය. අප පැහැදිලිවම හඳුනා ගත යුත්තේ, දීර්ඝ කාලයක් බටහිර ජාතීන්ට යටත්ව සිටීමෙන්ද, අනතුරුව දිගු කලක් එක්තරා පන්තියක සහ පවුල් කිහිපයක මිනිසුනට යටත්ව සිටීමෙන් ද, නිදහසට එරෙහිව ඇතිවූ කැරළි දිගු කාලයක් ඉතා බිහිසුණු ලෙස මැඩ පැවැත්වීම නිසා ද ජනතාවට සැබෑ නිදහස යනු කුමක් දැ‘යි අමතකව තිබෙන බවයි. සංස්කෘතියක් වශයෙන් සියවස් ගණනාවක් නිදහස අත් නොවින්ද, මැඩපැවැත්වීම පමණක් තමන්ගේ ඇතුළාන්තයෙන් ද, සමාජ පද්ධතීන් තුළින් ද අත් වින්ද ජනතාවකට ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් වෙනුවට ඒකාධිපතියකු විසින් ඉදිරිපත් කරන ඊනියා නිදහසක් කිසිදු බරපතල විරෝධයකින් තොරව විඳ දරා ගත හැකි විය හැකි වන්නේ එබැවිනි. එවැනි ඊනියා නිදහසක් තුළ, ලිංගික නිදහසක් අවශ්‍ය නොවන බවට පාලකයා කියන විට එයට ‘එහෙයි’ කීමේ සංස්කෘතියක අප සිටින අතර, මාධ්‍ය, සිනමාව, කලාව සහ අදහස් ප්‍රකාශනයේ නිදහස වාරණය වන්නට පටන් ගන්නේත්, සියල්ලටමත් වඩා දරුණු ස්වයං වාරණය ඇරඹෙන්නේත් එතැනින් බව ඇඟිල්ලෙන් ඇන මතක් කළ යුතුය.

දමිත් චන්දිමාල් | Damith Chandimal

පශ්චාත් යුද සමය තුළ රණවිරුවාගේ සමලිංගිකත්වය සහ ලංකාවේ ලිංගික නිදහස

Brain Drain and criminalization of homosexuality in Sri Lanka

I hate to be a citizen of this country.  It’s just useless to be a citizen in Sri Lanka. Sri Lanka really sucks. In other countries, transsexualism, and homosexuality are really welcomed. I am trying my best to go to another country. Because we are mostly welcomed in other countries.” A few months ago, I heard this statement from a young transgender hairdresser who had attempted suicide for the third time. In discussions with a number of young LGBT persons in Sri Lanka, I found that almost all of them have at least thought of migrating to a foreign country due to the stigma and discrimination they face as a result of their sexual orientation. I also met another young transgender person who unsuccessfully tried illegal migration to Australia; paying all his savings to a crook and risking his life by travelling via boat to Australia.  Even though proper research has not been conducted, criminalization of homosexuality can be a leading reason for the brain drain from Sri Lanka.

According to a recent study conducted in the US, there are an estimated 267,000 LGBT-identified individuals among the adult, undocumented immigrant population, and an estimated 637,000 LGBT-identified individuals among the adult, documented immigrant population, representing approximately 5.1% of adults in the US. LGBT immigrants are more likely to be male and are younger. 35% of documented LGBT adults are Asian or Pacific Islander. 15% of undocumented LGBT adults are Asian or Pacific Islander.

Brain drain is the movement of highly skilled and qualified people to a country where they can work in better conditions and earn more money (Oxford, 2010). Dominant economies with the highest capacities to absorb attracted best from all over the world. Thus, ex-British Colonies in the developing world lose their skills to developed English speaking countries. (Nesiah, D. 1978).

The reason for migration varies from one individual to the other. Many professionals leave the country looking for well-paid jobs, others leave due to lack of local opportunities and some look for better living conditions. The ethnic strife also has been a reason for some individuals to leave the country. Whatever the reasons are behind such brain drain, it affects the ability of a country to grow (Fernando, P. 2012.)

Sri Lanka is a country where universal free education is supplied from primary level to tertiary level. The investment made on free education by the governments is huge. The brain-drain of skilled workers and professionals from developing countries to developed countries is a rising issue. Even though we have invested a lot in free education, Sri Lanka is still unable to reap the benefits from it. Highly skilled workers are usually offered better opportunities in developed countries.

There is no doubt that migration is influenced by economic factors. But also,  the liberty, security, opportunities for education and opportunities for employment have led some people to take life risking migration. Journalists, human rights activists and persons belonging ethnic minorities have migrated due to the war and after human rights violation happened in the post war conditions. But why do people leave the country because of their sexuality?

One reason might be the criminalization of homosexuality. “Homosexual conduct” is criminalized in Sri Lanka and punishable by fines and imprisonment for a maximum of 10 years for acts between consenting adults, and ranging from 10 to 20 years for acts involving a minor below the age of 16. Although the relevant Penal Code provisions are not officially enforced, it has been reported that LGBT individuals most often face harassment, extortion for money, demands for sexual favours and physical violence in Colombo and other areas.( US Department of State, 2009)

Migration is not only about changing a job and place of residence, but also it is about entering into a new culture, starting a new life by leaving one’s familiar surroundings, culture, language, rituals, relatives, kith and kin and everything one belongs to. Sri Lanka, as a culture established on collective values and extended family relationships; it might be very difficult for somebody to leave everything. But nobody can escape from the effects of globalization. Now, people are more aware and conscious about what is happening around the World. New cultural trends are emerging due to the increase in knowledge on information technology by youth.

Cybersex, sex chat rooms, dating sites, pornography – these are now very easy and cheaper to access than any other time in history. The government’s actions to control pornographic websites and anti-government websites have failed. Even though technology has increased opportunities for sexual enjoyments, the word ‘sex’ is still a taboo in this country which people are not ready to speak openly about. Teachers feel shy teaching about sex in the classrooms. Most of the parents do not know how they can speak these things with their children. The dreams of young persons are huge and much more advanced than the elderly population. The emergence of global village further strengthens people to feel the need of their democratic, social, and cultural rights according to global standards. One’s decision of migrating to a country where people’s rights and liberty are given might be influenced by a positive result of this globalization process.

On other hand, in countries like Sri Lanka, the ‘gay identity’ derives from the feeling of discrimination, labeling, and stigmatization. There is nothing called ‘gay culture’ in this country. Engaging in a certain sexual activity does not give somebody an identity. But the discrimination does.  Many persons feel that homosexuality is not a part of our culture. It is perceived as foreign, a result of westernization or globalization. The self-stigma, damages to family pride, discrimination, non-acceptance, rejection, stigmatization by the family and relatives are often distressing experiences for young LGBT persons. As a coping mechanism, some people choose suicide, some choose escaping: migration is a good option for LGBT persons to escape from the discriminatory culture in Sri Lanka.

As a conclusion, I would like to emphasise the fact that it does not matter which reason leads to brain drain. The brain drain affects the national economy and the growth of a nation. As long as the brain-drain continues on a large scale, the investments made on free education is hopeless.

References

Fernando Prabath. 2012. It’s Time for the Reverse brain Drain[online]. Edex magazine. Vol 02 (02). EDEX Secretariat. Colombo.  Available at : http://magazine.edex.lk/v02_i01/Careers_Brain%20Drain_Eng.pdf[accessed 22 April 2013]

Nesiah, D. 1978. Brain Drain: internal and external[online]. Sri Lanka Journal of Social Sciences. Vol. 1 (2), pp 13- 49. Natural Science Foundation, Colombo. Available at http://dl.nsf.ac.lk/bitstream/1/4961/1/JSS1_2_13.pdf[accessed 22 April 2013]

Gates Gary J., March 2013.LGBT Adult Immigrants in the United States [online]. The Williams Institute: Los Angeles.  Available at http://williamsinstitute.law.ucla.edu/wp-content/uploads/LGBTImmigrants-Gates-Mar-2013.pdf[accessed 22 April 2013]

UN High Commissioner for Refugees, UNHCR Eligibility Guidelines for Assessing the International Protection Needs of Asylum-Seekers from Sri Lanka, 5 July 2010, HRC/EG/SLK/10/03, available at: http://www.refworld.org/docid/4c31a5b82.html[accessed 22 April 2013]

නූතන දේවදත්ත? වස්තුවෙන් බණ ඇසීම

බෞද්ධකම යනු කුමක් ද යන්න ප්‍රශ්න කළ යුතු යුගයකට අපි පැමිණ සිටින්නෙමු. සංඝයා වහන්සේලා යන්නෙන් හැඳින්වෙන්නේ කවුරුන් ද යන්න ප්‍රශ්න කළ යුතු යුගයකට අපි පැමිණ සිටින්නෙමු. හුදෙක් උප්පැන්න සහතිකයේ නම තිබූ පමණින් කෙනෙක් බෞද්ධ වන්නේ ද? සිවුරක් පොරවා ගත් පමණින්, ධර්ම දේශනා කළ හැකි වූ හෙයින්, ධර්ම කරුණු යම් පමණකට දැන ගත් පමණින්, උපසම්පදාව ලද පමණින් කෙනෙක් බෞද්ධ භික්ෂුවක් වන්නේ ද? වෛරයේ සහ ද්වේශයේ මෝහයෙන් මුලා වූ මේ මිථ්‍යා දෘෂ්ටිකයන් තමන් ‘බෞද්ධ’ යැයි හඳුන්වා ගත් පමණින් බෞද්ධ වන්නේද? ‘උපසම්පදාව’ චාරිත්‍රයක් ලෙස ලද්දේ වුවද, ධර්ම කරුණු ගිරවකු සේ දැන ගත්තේ වුව ද, ඒ කිසිවක් පිළිපදින්නට නොහැකිව මෝහයේ මාවතේ ගමන් කරමින්, මිනී මරන්නට මිනිසුන් උසි ගන්වන මේ අසරණ සංසාර සත්ත්වයෝ ‘බෞද්ධ භික්ෂූන්’ ලෙස පැවිදි වූ පමණින් බෞද්ධ වන්නේ නැත.

පසුගිය දා අලුත්ගම දී ඥානසාර හිමියන් පැවැත් වූ බණ දේශනාවත්, ඉන් අනතුරුව අලුත්ගම සහ දර්ගා නගරය ආශ්‍රිතව පැතිර යන පින්කම්(පව්කම්) මාලාවත් සම්බන්ධ සිද්ධි දාමය ධර්ම සාකච්ඡාවකට ගෙන ආ යුතු බවත් මා විශ්වාස කරමි.

මේ රටේ තාම තියෙන්නෙ සිංහල පොලීසියක්. තාම තියෙන්නේ සිංහල හමුදාවක්. අදින් පස්සෙ එක මරක්කලයෙක් හරි, වෙනත් මොන පරයෙක් හරි එක සිංහලයෙකුට, අවම තරමින් සිවුරකට නෙමෙයි එක සිංහලයෙකුට අත තිබ්බොත් මේ හැම එකාලගෙම අවසානය බව…(මතක තියා ගනිල්ලා)

ගිරිය පුප්පා ගෙන, අත පය විසි කරමින්, රහමෙර පෙවූ නාලාගිරි ඇතු ගෝර නාද දෙන්නා සේ කෑ ගසමින්, ඥානසාර හිමියන් අලුත් ගම දී මෙසේ බණ දෙසද්දී සාදු කාර දෙනු වෙනුවට ඔල්වරසන් දෙමින් ප්‍රීති ඝෝෂා නගන උපාසක, උපාසිකාවන්ට දහම් පාසල් යන පොඩිම දරුවා පවා දන්නා ගාථාවක් මතක් කර දිය යුතුය.

නහී වෙරෙනි වේරානි- සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ච සම්මන්ති- එස ධම්මො සනත්තනො
මේ ලෝකයේ කිසි කලෙකත් වෛර කිරීමෙන් වෛරයෝ නොසන්සිඳෙත්. මෙය පෙර සිට පැවතෙන ධර්මයකි, නැතහොත් සැමදා පවත්නා ස්වභාවයකි.

‍බුදුන් වහන්සේ කිසි දිනක වෛර කරන්නට ඉගැන්වූයේ නැත. තමනට වෛර කරන්නවුනට පවා මෛත්‍රී කරන්නට ඉගැන්වූහ. ‘එක සිංහලයෙකුට අත තැබුවොත්’ මිනී මරන්නට උසි ගන්වන මේ ඥානසාර නම් සංසාර සත්ත්වයා සහ ඔහුගේ අනුගාමික ‘උපාසක, උපාසිකාවන්’ සිටින්නේ මෝහයෙන් සහ මුලාවෙන් අන්ධවය. ක්‍රෝධයෙන් සහ වෛරයෙන් පිරුණු මේ සත්ත්වයන්ට බොදු මඟ යන්නට නොහැකිය. නිවන් මඟ යන්නට නොව, ඒ අසලකින් හෝ යන්නට නොහැකි වූ මේ අසරණ සත්ත්වයෝ බෞද්ධයෝද? ඥානසාර නම් අසරණය, නුඹ සිටින්නේ මුලාවෙන් හා මෝහයෙන් අන්ධවය.

මුගලන් හිමියන්ට සොරුන් පහර දී අපවත් කරනු ලැබූ අවස්ථාවේ, බුදු රජාණන් වහන්සේ කණ්ඩායම් යවා සොරුන්ට පහර දුන්නේ නැත. එහෙත් දේවදත්ත තෙරුන් දුනුවායෝ යොදවා, ගල් පෙරළා බුදුන් පරිනිර්වාණය කරන්නට තැත් දැරූහ. එහෙත් දේවදත්ත යනු බෞද්ධයන්ට අනුව සතුරෙකු නොව, මුලාවේ වැටුණු අසරණයෙකි. ‘අහෝ! දෙව්දත් නොදිටි මොක්පුර’ යනුවෙන් පසුකාලීනව වෑත්තෑවේ හිමියෝ ලිව්වේ ඒ නිසාය.

‘යො ධම්මං පස්සති, සො මං පස්සති’ (යමෙක් ධර්මය දකී ද හේ මා දකී) යනුවෙන් බුදුන් දේශනා කළේය. ධර්මය දකින්නට නොහැකි ඥානසාර සහ ඔහුගේ සැදැහැවත් උපාසක උපාසිකාවෝ බුදුහු නොදකිති. එබැවින් ඔවුහු අන්ධය. අසරණව මුලාවේ වැටී සිටිති.

දණ්ඩකින් සර්පයකුට පහර දෙමින් සිටි ළමුන් කණ්ඩායමක් අරබයා බුදුන් පහත දැක්වෙන ගාථාව දේශනා කළේය. සර්පයා යනු අහිංසක සතෙකු නොවන බවත්, ඌ මරා දැමීමෙන් අපි ආරක්ෂා වෙන බවත් කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් ප්‍රාණඝාතයට අනුබල දෙන්නා සහ ප්‍රාණඝාතය කරන්නා යන දෙදෙනාම බෞද්ධයෝ නොවෙති. ඔවුහු අබෞද්ධයෝ සහ මිථ්‍යා දෘෂ්ටික පාපතරයෝම වෙති. ඥානසාර යනු මිථ්‍යා දෘෂ්ටිකයෙකි, පාපතරයෙකි. ඔහුගේ හිංසාවාදී බණ පිළිපදින උපාසක උපාසිකාවෝ ද එලෙසම ය.

aaa
ඥානසාරගේ උපාසක උපාසිකාවන් දඬු මුගුරු රැගෙන (පිංතූරය උපුටා ගැනීම – බීබීසි)


“සබ්බෙ තසන්ති දණ්ඩස්ස
සබ්බෙ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා
න හන්‍යෙය, න ඝාතයෙ”
සියලු දෙන පහර දෙන පොල්ලට හෝ දඬුවමට තැති ගනිත්. සියලු දෙන මරණයට භය වෙත්. තමාත් ඒ දෙකට බය වන බව සලකා අනුන්ට දඬු ආදියෙන් හිංසා නොකරන්නේය. අනුන් නොනසන්නේය. (ධම්මපදය, දණ්ඩ වග්ගය)

කෙනෙකුට මෙසේ තර්ක කළ හැකිය. මේ අපරාධ සිදු කළේ ‘ඥානසාර’ නම් භික්ෂුව විසින් නොවේ. ඔහු ඒ ගැන දැන සිටියේවත් නැත. ඔහු එම අපරාධ වන ස්ථානයෙන් වහාම පිටත්ව ගියේය.

නටන්න එන්න එපා. නැටුවොත් දෙවැනි පියවර බේරුවල, අළුත්ගම, යනාදී වශයෙන් මේ තියෙන කඩසාප්පුවලට අබ සරණං.”

කඩසාප්පුවලට ප්‍රහාර එල්ල වීමට හෝරාවකට පමණ පෙර ඥානසාර නම් අසරණ භික්ෂු සත්ත්වයා විසින් මෙසේ බණ දෙසන ලදී. කර්මය යනු ක්‍රියාව නොව කර්මය කිරීමේ සිතුවිල්ලයි. පලි ගැනීමේ සිතුවිල්ලයි. මේ සිතුවිල්ල ජනිත කරවන්නේ ඥානසාරය. ඥානසාර, නුඹටත් නුඹේ කතාවට අත්පුඩි ගැසූ නුඹේ අනුගාමිකයන්ටත් මේ පවින් නිදහස් විය නොහැක. මිනිසුන් මැරෙනු බලා සිංහල ජාතිය ගැන උද්දාමයෙන් කෑ ගැසූ අසරණ සත්ත්වයනි, ඒ පව් නුඹලා පසුපස ද එලෙසම ලුහු බඳිනු ඇත. උපදින, උපදින ආත්මයක් පාසා කර්මය ගොනු පසුපස ලුහුබැඳ එන රියසක මෙන් නුඹලා පසුපස ලුහු බඳිනු ඇත.

මනොපුබ්බංගමා ධම්මා- මනොසෙට්ඨා මනොමයා- මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා- තතො නං දුක්ඛමන්වෙති – චක්කංව වහතො පදං

කුශලාකුශල ධර්මයෝ සිත පෙරටු ගෙන ඇත්තෝය, සිත ප්‍රධාන කොට ඇත්තෝය. සිතින්ම උපන්නාහුය. ඉදින් යමෙක් දූෂ්‍ය වූ සිතින් ක්‍රියා කෙරේ නම්, නපුරු වචන කියා නම් ඒ කරණකොට දුක ඔහු පසු පස්සේ ගමන් කරයි. (කුමක් මෙන්ද?) කරත්තේ බැඳි ගොනාගේ පය අනුව යන රෝදය මෙනි.

ඥානසාර යනු බෞද්ධයෙකු නොවේ. ඒ ගැන තර්ක කරන්නට දෙයක් නැත. එහෙත් ඥානසාර නම් මේ බොරුකාරයාට මුලා කර හැකි තරමටම ලංකාවේ මිනිසුන්ගේ බෞද්ධකම අනාථ වී තිබේ ද? යන ප්‍රශ්නය මට නැගේ. බෞද්ධකම යනු උප්පැන්න සහතිකයෙන් ලැබෙන දෙයක් බවට, පරම්පරාවෙන් ලැබෙන දෙයක් බවට යන මිථ්‍යාව විසින් අද බෞද්ධ ජනතාව මුලා කර ඇති අතර, කිසිදු හිරිකිතයකින් තොරව බුදුන් යොදා ගෙන මිනී මරන්නට ඉඩ දෙන පුණ්‍ය (පාප) භූමියක අපි ජීවත් වෙමු.

බෞද්ධයන්, සහ බෞද්ධ භික්ෂූන් බවට හැඳින්වෙන බොහොමයක් පුද්ගලයන් අබෞද්ධයන් වන අතර ඒ කිසිවෙක් බුදුන් සරණ, දහම් සරණ ගොස් නැත. බුදු හාමුදුරුවන්ගේ යැයි සැලකෙන පිළිමවලට වඳින, බෝධියක් ලෙස සලකන ගස්වලට වඳින, තමන් තේරුම් නොගන්නා ගාථා ඛණ්ඩ පවසන මේ මිථ්‍යාදෘෂ්ටිකයෝ බුදුන් දෙසූ ධර්මයට පිටුපා වෛරය පතුරුවන අතර අතීතයේ ගස් ගල්වලට වැඳි ගෝත්‍රිකයන්ගෙන් කිසිසේත්ම වෙනස් නොවෙති. බෞද්ධ ඉගැන්වීම් අද ජනප්‍රිය ආගම යන සංකල්පය තුළ වැළලී ගොස් ඇති අතර, බුද්ධ ධර්මය තුළ ඇති වටිනාකම් යළි ගොඩ ගැනීම අපේ කාලයේ වගකීමක් වන්නේය.

මෙතකින් නූතන දේවදත්ත වස්තුව හමාර කරමි. ඥානසාර නම් භික්ෂු සත්ත්වයාට ද, ඔහුගේ ගෝල බාල උපාසක, උපාසිකා සත්ත්වයන්ට ද, මේ ලිපිය කියැවූ, නොකියවූ සැම දෙනාටම ද සම්මා දිට්ඨිය පහළ වේවා!

දමිත් චන්දිමාල් | Damith Chandimal

නූතන දේවදත්ත? වස්තුවෙන් බණ ඇසීම

ත්‍රස්තවාදය සහ ඥානසාර බබා

පසුගිය දවස්වල බුකියේ (මුහුණුපොතේ) අලුත්ගම ඇතිවූ කළකෝළහල ගැන සෑහෙන්න කතා බහ සිදුවිය. මෙතරම් විනාශයක් සිදු වූ පසුත්, කිසිදු හිරිකිතයකින් තොරව වෛරී ප්‍රකාශයන් කරන බබාලා ගණනාවක් තවමත් සිටිති. මිනිසා යන වදනෙන් කියවෙන්නේ මනසින් උසස් බව යැයි මා අසා තිබේ. මෙවැනි පුද්ගලයන්ට ‘මිනිසා’ යන නමින් ආමන්ත්‍රණය කළ නොහැකි නිසා මනසින් නොමේරූ ‘බබා’ යන වචනය භාවිතා කරමි.

මුස්ලිම් ජනතාවට සිදු වූ අලාභ හානි සම්බන්ධව විරෝධතා දක්වමින් සිටි පිරිසකගේ බීබීසි සංදේශයේ ඡායාරූපයක් පසෙකින් අසන්ත සංජය නම් බුකි බබෙක් පහත කොමෙන්ටුව දමා තිබුණි.

තම්බි හැත්ත දැන ගනින් ඉන්නවා නම් දගලන් නැතුව ඉඳපල්ලා. සංදර්ශන දාලා කොටියට වගේ වෙයි ආ…

මේ ප්‍රකාශයත් සමග මට හිතුනේ කොටියා ට වූ දේ කුමක් දැ‘යි සිංහල බබාලාට තවමත් හරියට තේරුම් ගොස් නැති බවයි.
කොටි බබාට කිරි පෙව්වේ කවුද?

1983 කලු ජූලියට පෙර ලංකාවේ දමිළ සන්නද්ධ කණ්ඩායම් ගණනාවක් තිබූ නමුත් ඒ එකක්වත් සැලකිය යුතු තරම් ශක්තිමත් සංවිධාන නොවීය. ලාංකීය රජයයට විරුද්ධව සටනක් ගෙන යන්නට තරම් ධාරිතාවයක් ඒ කිසිවකට තිබුණේ නැත. ඒවා කුඩා සන්නද්ධ කණ්ඩායම් යැයි හැඳින්වුව හොත් ඉතා නිවැරැදිය.

මේ සන්නද්ධ කණ්ඩායම්වලට මුදල් යහමින් ලැබෙන, ආයුද සන්නද්ධ විදේශ පුහුණු වීම් ලැබෙන යුගයක් උදා කළේ වෙන කිසිවෙක් නොව 1983 ජූලි මාසයේ දී අහිංසක දමිළ ජනතාවට පහර දී, දේපල ගිනි තබා, මිනීමැරුම් කළ සිංහල ම්ලේච්ඡ බබාලා සහ ඔවුනට එම අපරාධ කරන්ට ඉඩ හැර දෑත් බැඳ ගෙන සිටි ම්ලේච්ඡ ආරක්ෂක අංශ බබාලා ය. පසුගිය දා අලුත්ගම සිද්ධිය ද ඊට සමානම සිද්ධියක් වන අතර, ආරක්ෂක අංශ බබාලා බලා සිටිද්දී මුස්ලිම් ජනතාවට පහර දී ඇති බවට කරුණු කාරණා ගණනාවක් බොහෝ මූලාශ්‍රවලින් දැන ගන්නට ලැබේ.

1983 කලු ජූලියේ සහ 2014 කලු ජූනියේ අතර ඇති වෙනස වන්නේ මරණ ගණන අඩු වීම පමණි. බොදු බල සේනාවේ බබාලා පවසන පරිදි ලංකාවේ මුස්ලිම් අන්තවාදීන් සිටී නම්, එවන් අන්තවාදී කණ්ඩායම්වලට අන්තර්ජාතික සහයෝගය ලබා ගැනීමට මාවත සැකසීමේ කොන්ත්‍රාත්තුව බොදු බල සේනාවේ බබාලා ඉතා සාර්ථක අන්දමින් නිම කොට ඇත. 1983 දී සිංහල වර්ගවාදී බබාලා ඉෂ්ට කළේ ද මෙම කොන්ත්‍රාත්තුවමය.

2014 දී හාමුදුරුවන්ට ගැහීම සහ 1983 දී සොල්දාදුවන් 13 දෙනා මරා දැමීම

බුකියේ බබාලා බොහෝ දෙනෙක් හාමුදුරුවන්ට ගහපු නිසා ගැසිය යුතු බවටත්, එසේ ගැසූ සිංහල බබා කොල්ලන්ට ‘සිංහල’ බබා ජාතියේ ප්‍රණාමය පළ කරන බවටත් ප්‍රකාශ කරමින් පොස්ට් පළ කර තිබුනි. පහත දැක්වෙන්නේ .” වීරරත්න සනත් ප්‍රසන්න නමැති බුකි බබා විසින් අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන බොදු බලසේනාව විවේචනය කරමින් කළ ප්‍රකාශය විවේචනය කරමින් තිබූ එකකි.

“යකෝ අපේ හාමුදුරුවන්ට ගහපු එක අවුලක් නෑ මුන්ට. රෙද්ද ….. ඇත්ත තේරුම් ගනිව්, මේ රටේ මුස්ලිම් ජිහාඩ් සංවිධාන ක්‍රියාත්මක වෙනවා. ගිය සතියෙත් අනවසර පකිස්තානු මුස්ලිම් උන් 45ක් පිටුවහල් කලා. උන් ඇවිත් තිබ්බේ මේ රටේ ත්‍රස්ත ක්‍රියා (වැඩ) වලට. ඉස්සෙල්ලා ඒවා නවත්වපන් . සමාජ සහජීවනයට කලින් මේ රට අරාබියක් වෙන්න නොදී සිටිය යුතුයි”

ගැටුමේ දී හාමුදුරු කෙනෙක් ගුටි කෑ නිසා මුස්ලිම් ජනතාවට පහර දීමට, ඔවුන්ගේ කඩ කැඩීමට, මුස්ලිම් ජනතාව මරා දැමීමට සිංහල බෞද්ධ බබාලාට සාධාරණ හේතුවක් ඇති බව ඉහත බුකි බබා පැහැදිලිවම ප්‍රකාශ කරයි. මේ කාරණය 1983 සිංහල සොල්දාදුවන් 13 දෙනෙකු මරා දැමීම නිසා දෙමළ සංහාරයක් සිදු කිරීමට සාධාරණ හේතුවක් ඇති බවට සිංහල බෞද්ධ බබාලා ගෙන ආ මතවාදයට සමානය.

1983 දී එවැනි ප්‍රහාරයක් එල්ල නොකර හෙමින් සීරුවේ කටයුතු කළා නම් එල්ටීටීඊය ඇතුළු සංවිධානවලට ඒ තරම් ජාත්‍යන්තර සහයෝගයක් ද නොලැබෙන අතර, පහසුවෙන්ම ඒ ගැටළු යුද්ධයක් කරා නොගොස් අවසන් කරන්නට ඉඩ තිබුණි. එහෙත් එදා සිදු කළ සංහාරය නිසා අවුරුදු 30කට ආසන්න කාලයක් සිංහල වර්ගවාදී බබාලා පමණක් නොව, ඒ අපරාධය සිදු කළ අපරාධකාර බබාලා පමණක් නොව, අහිංසක මිනිස්සු දස දහස් ගණනක් මිය ගියහ. එදා මිනී මරන්නට ඉඩ දී බලා සිටි ආරක්ෂක හමුදා බබාලා පමණක් නොව ඒ කිසිවකට සම්බන්ධයක් නැති ඒ වන විට උපත නොලැබූ ආරක්ෂක හමුදා සාමාජිකයන්ටද ඒ කරුමයට කර ගහන්නට විය.

වර්තමානයේ මුස්ලිම් අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වෙන බවට බොදු බල සේනාවේ බබාලා ප්‍රකාශ කරන අතර, ඒ බබාලා තමන් සිදු කරන ප්‍රහාර සාධාරණීකරණය කරන්නේ එවැනි අන්තවාදී සංවිධානවල පැවැත්ම පදනම් කර ගනී. 1983ට පෙර දමිළ සන්නද්ධ කණ්ඩායම් ද සිටියා මෙන්ම, බොදු බල සේනා බබාලා ප්‍රකාශ කරන ආකාරයේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් පැවතීමට යම් ඉඩකඩක් ඇතැයි මම ද විශ්වාස කරමි. එහෙත් නියපොත්තෙන් කැඩිය යුතු දේ, පොරවෙන් කැපිය යුතු තරමට ලොකු කර ගන්නේ බොදු බල සේනාව වැනි ආගමික සහ වර්ගවාදී අන්තගාමී බබාලා ය. අහිංසක මුස්ලිම් ජනතාවට මෙලෙස පහර දීම හරහා ඔවුන් කරන්නේ එවැනි අන්තවාදී සංවිධාන ඇත්නම් ඒවාට ආධාර සහ උපකාර ගලා ඒමේ මාර්ගයක් තනා දීමත්, අනාගත යුද්ධයක් සඳහා බිම් සකස් කර දීමත් පමණි.

ත්‍රස්තවාදී පනත දැන් ක්‍රියාත්මක නොකරන්නේ මන්ද?

අලුත්ගම ක්‍රියාව පැහැදිලිවම ත්‍රස්තවාදී ක්‍රියාවක් වන අතර, මේ කාරණයේදී කොතෙක් දුරට රජ පවුලේ බබාලා විසින් ත්‍රස්තවාදී බබා පනත ක්‍රියාත්මක කළේ ද යන්න විමසිය යුතුය. මානව හිමිකම් ක්‍රියාධරයන්, ජනමාධ්‍යවේදීන්, සහ රජ පවුලේ බබාලා විවේචනය කරන්නන්ට එරෙහිව පසුගිය සමයේ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී බබා පනත සැබෑ වශයෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාවක් ඇති වූ අවස්ථාවේ ක්‍රියාත්මක වූයේ නැත.

එසේ ක්‍රියාත්මක වූවා නම් අලුත්ගම දී වෛරී දේශනාව කළ ඥානසාර බබාත්, වෛරය පතුරවන්නට සහයෝගය දුන් මධු මාධව බබාත්, රැස්වීමෙන් අනතුරුව දඩු මුගුරු රැගෙන සැරි සැරූ බබාලා පිරිසත්, ප්‍රහාර සිදු කළ බවට සැක කෙරෙන සීසීටීවී කැමරා ආශ්‍රයෙන් හඳුනා ගත් බබාලා පිරිසත්, ෆේස් බුක් හරහා වෛරී ප්‍රකාශයන් නිකුත් කරමින් ත්‍රස්තවාදයට කිරි පොවන බුකි බබාලා පිරිසත් පැහැදිලිවම අත් අඩංගුවට පත් විය යුතුය. එහෙත් එසේ නොවන්නේ ඇයි?

ත්‍රස්තවාදී බබා පනත පවත්වාගෙන යන්නේ රජ පවුලේ බබාලාට විරුද්ධ මතවාද මර්දනය කිරීමට මිස ත්‍රස්තවාදය මර්දනය කිරීමට නොවන මෙහි දී පැහැදිලිවම පෙනී යයි. මේ තත්වය 1983 හි වූ තත්වයෙන් ද කිසිසේත්ම වෙනස් නොවේ. 1980 ජූලි වැඩ වර්ජනය මර්දනය කිරීමට එවක සිටි රජ බබාට තිබූ වුවමනාව 1983 ජනවාර්ගික ගැටළුව විසඳීමට තිබුණේ නම් කොතරම් අගනේද?

තවමත් අපිට ඇත්තේ යටත් විජිත ආණ්ඩුය, යටත් වැසි බබාලා ය

යටත් විජිත සමයේ මේ රටේ බබාලා පාලනය කරනු ලැබුවේ ජන වර්ග වශයෙන් භේදභින්න කිරීමෙන් වන අතර, නිදහස ලබා අඩ සියවසක් ගත වී ඇතත් තවමත් මේ රටේ බබාලාට යටත් විජිත උගුලෙන් ගැලවීමට නොහැකි වී ඇත. නිදහස නාමිකව ලබා ඇතත්, මානසික මේ බබාලා තවමත් යටත් වැසියෝය. එසේම මේ රටේ ආණ්ඩුව ද තවමත් කටයුතු කරන්නේ ජනතාවගේ ආණ්ඩුවක් වශයෙන් නොව යටත් විජිතයක් පාලනය කරන රජ පරම්පරාවක් මෙනි.

මහින්ද බබා ගැන මිනිසුන්ට ඇති විවේචනය මෝඩ තැනක හිර කර සැබෑ විරෝධය මැකීම ඥානසාර බබා සිදු කරන අනික් කොන්ත්‍රාත්තුවයි. මහින්ද බබාට මොලේ නැති බවත්, එසේ මොලේ නැති වන්නේ මුස්ලිම් පුද්ගලයකුට අධිකරණ ඇමැති ධූරය දුන් නිසා බවත් පවසන්නේ රජ පවුලේ බබාලාට ඇති ජනතා විරෝධය සරල ජාතිවාදයකට ලඝු කොට රජ පවුල ශක්තිමත් කිරීමේ වෑයමේ කොටස්කාරයෙක් ලෙස බොදු බල සේනාවේ බබාලා පැහැදිලිවම කටයුතු කරන බැවිනි.

මේ රට දෙකඩ, තුන්කඩ, හතරකඩ කරන්නට අඳනකඩ ඇඳගත් මේ චීවරධාරී කොන්ත්‍රාත්තුකාර බබාලාට පහසුවෙන්ම හැකි බව දන්නා රජ පවුලේ බබාලා, සිය මිලිටරීකරණ ක්‍රියාදාමයේ අවශ්‍යතාවය සාධාරණීකරණය කරන්නට මේ වටපිටාවම භාවිතා කරන බවත්, රට මතවාදීමය ලෙස බෙදා මිලිටරි බලය යොදා එම කොටස් පාලනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී පාලනයේ මූල පද්ධතිය ශක්තිමත් කරන්නට ඥානසාර බබා යොදවා වතුර ඇදීම අනාගතයේ බරපතල ව්‍යසනයක් විය හැකි බවත්, තවත් දිගු කාලීන යුද්ධයකට නුඹලා දැන දැනම අත වනන බවත් බබාලා සියලුම දෙනාට පැහැදිලිවම අනතුරු ඇඟවිය යුතුය.

දමිත් චන්දිමාල් | Damith Chandimal

ත්‍රස්තවාදය සහ ඥානසාර බබා

යුද්ධය තවමත් අවසන් ද?

එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කෙරිණි. එහෙත් යුද්ධය අවසන් වී සාමය උදා වී ද යන්න සැබවින්ම ගැටළුවකි. යුද්ධය ආරම්භ වීමට පෙර සාමය පැවතී ද යන්න ද විවාදාත්මක කාරණයක් වන අතර, ‘යුද්ධය අවසන් කිරීමෙන් පසුව සාමයක් උදා වූයේය’ යන්න ද විවාදාත්මක කාරණයකි. ඔක්ස්ෆඞ් ශබ්දකෝෂයට අනුව සාමය යනු රටක හෝ කිසියම් ප‍්‍රදේශයක යුද්ධයක් හෝ ප‍්‍රචණ්ඩත්වය නොමැති කාල වකවානුවක් හෝ තත්වයක් වේ. පුළුල් ලෙස අධ්‍යයනය කර බැලූවහොත් එල්ටීටීඊය යුද්ධය ආරම්භ කිරීමට පෙර ද එවැනි සාම තත්වයක් හෝ කාල වකවානුවක් අප රට තුළ නොපැවැතියා සේ ම, එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව ද එවැනි සාමකාමී වටපිටාවක් හෝ කාල වකවානුවක් රට තුළ උදා නොවීය. එහෙත් එල්ටීටීඊය සමග පැවැති යුද්ධය අවසන් කිරීම හරහා අපි රටක් වශයෙන් යුද්ධයේ සුවිශේෂී කාල පරාසයක් අවසන් කරන අතර, ‘බෝම්බ පිපිරුණු යුද්ධයක’ සිට, ‘බෝම්බ නොපිපිරෙන යුද්ධයකට’ පා තබමු. මේ පස් වසරක සැමරුමත් සමග අප සමරන්නේ එම බෝම්බ පිපිරෙන යුද්ධයේ අවසානය සේ ම, පුරවැසියන් මර්දනයට හා ප‍්‍රචණ්ඩත්වයට දිගින් දිගටම ලක් වීම සිදු වෙන, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මෙවලම් ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව ඉතාම උපක‍්‍රමශීලි සහ සූක්ෂම පරිදි යොදා ගැනෙන යුද්ධයක ආරම්භය ද වේ.

නවක කවියකු වන සෞම්‍ය සඳරුවන් ලියනගේගේ හැටේ වත්තේ මග්දලේනා කෘතියේ පළ වූ ‘නගරාලංකාරය’ යන කවි පන්තිය මට සිහිපත් වේ.

ඉතිං දැන් මෙ‘නුවර;
බුලත් කෙළ තහනම් ය,
වර්ජන ද – ගර්ජන ද තහනම් ය.
හැම තැනම කැමරා ය,
‘නිකරුණේ ගැවසීම‘ තහනම් ය…
ප්‍රෙෂර්, දියවැඩියාව,
අනවශ්‍ය මේදය ද
ඉවත් වනතුරු හොඳින් ඇවිදින්න;
පුරවැසිය, බිය – සැකැ‘ර පැමිණෙන්න…

අලූත් ගල් එබ්බවූ
මේ පදික මං තීරු
ඔබටම ය, එ‘ගැන සැක
නො කරන්න…
දෙපස ඉදිකර තිබෙන
කටු කම්බි වැටවල් ද
‘රැකවරණ‘ පිණිසම ය;
නො පනින්න…

ඔබට හිමි තීරුවේ පමණක්ම
රිසි ලෙසින් ඇවිදින්න…

‘පශ්චාත් යුද සමයේ’ කොළඹ යුද සමයට පෙර කොළඹට වඩා බෙහෙවින් වෙනස්ය. කොළඹ නගරයේ නගර සැලසුම සුවිශේෂී වෙනස්කම් සිදු කෙරිණි. කොළඹ වාහන තදබදය අවම කිරීමත්, ආරක්ෂාවත් ඉලක්ක කර ගෙන කොළඹ මං මාවත්වල වාහන එක් පසෙකට පමණක් ගමන් කිරීම ඇරඹුණේ යුද්ධයේ අවසාන සමයේය. යුද්ධය අවසන් වී පස් වසරක් ගත වී ඇතත් එය වෙනස් වී නැත. ඒ නිසා කොළඹ රථ වාහන තදබදයේ සුවිශේෂී අඩු වීමක් ද සිදු වූ බවක් ද මට නොපෙනේ. එහෙත් වෙනදා මෙන් අයිඩෙන්ටි කාඞ් චෙක් නොවේ. මැති ඇමතිවරු ගමන් ගන්නා විට පාරේ යන වාහන පමණක් නොව, පදිකයන්ට පවා මඟ අවහිර කිරීම අද ද ඇතැම් විට සිදු වේ. එහෙත් වෙනදාට වඩා එවැනි අත්දැකීම් ප‍්‍රමාණයෙන් අඩුය. වෙනදා මෙන් නොව අද, පදික වේදිකාවල ලස්සන ගල් අතුරා ඇත. පදික වෙළඳුන් බොහෝ ස්ථානවලින් ඉවත් කර ඇත. මහජන උයන්වල වැට කඩුළු නැත, බැලූ බැල්මට ඇස් දෙකට නිදහස්ය. වාඩි වී සිටින්නට ලස්සන බංකු ඇත. හමුදා ශ‍්‍රමය යොදවා සියල්ල ක‍්‍රමවත් බවට හැර වේ. පදික වෙළඳුන් පදික වේදිකාවෙන් ඉවත් කරන්නේ හමුදා සෙබළුන් ය. මහජන උයන් අතුගා පිරිසිදු කරනවා පමණක් නොව, ඒවායේ විනය පවත්වා ගෙන යන්නේ ද හමුදාව විසිනි. ඒ බංකුවල හැක්කේ අසුන් ගන්නට පමණි, මහන්සියට හෝ විනෝදයට ඒ බංකු මත නිදා ගත නොහැකිය. එක් අයෙකුට සැකසූ බංකුවක් නම් දෙදෙනෙකු අසුන් ගැනීම ද වැරැදිය.

වර්තමානයේ මිලිටරීකරණය යනු අමුතු දෙයක් නොවේ. ඉතා සාමාන්‍ය දෙයකි. මිලිටරීකරණය සාමාන්‍යකරණය කිරීම ආගමික, සංස්කෘතික, ආර්ථික සහ මතවාදී ආකාරවලින් විවිධ ලෙසින් සිදු වේ. මිලිටරීකරණයේ ඉතා බරපතල ස්වරූපයක් වන්නේ අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමයි. විදුහල්පතිවරුන්ට හමුදා තනතුරු ප‍්‍රදානය කිරීමත්, විශ්ව විද්‍යාල සිසුනට නායකත්ව පුහුණුව මැයෙන් ලබා දෙන හමුදා විනය පුහුණුවත් මෙම ක‍්‍රියාවලියේ අත්‍යන්ත උදාහරණයන් ය. මිලිටරීකරණය ඉතා යහපත් බවත්, විශේෂයෙන් අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම, අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීම සහ නාගරික ඉදි කිරීම් සඳහා හමුදා ශ‍්‍රමය යෙදවීමේ කාර්යක්ෂම බවත් කෙනෙකුට කතා කළ හැකිය. ‘සාමය’ට, වඩා ‘තුවක්කුව’ කාර්යක්ෂම බව, එල්ටීටීඊය සමග සාම කතා බහ අසාර්ථක වීමත්, යුදමය වශයෙන් සටන් කොට පරාජය කිරීම සාර්ථක වීමත් යන ලක්ෂයෙන් පටන් ගෙන ලංකාව වසා ගෙන පැතිර යන සංස්කෘතික මතවාදයක් ලෙස හඳුනා ගත හැකිය. නවක වදයේ සෘණාත්මක ප‍්‍රතිවිපාක නැවැත්වීමට හමුදා ‘නායකත්ව පුහුණු’ ලබා දීමේ වරද කුමක් ද? ශිෂ්‍යයන් විසින් කරන උද්ඝෝෂණවලට පහර දී, ශිෂ්‍ය නායකත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කිරීම තුළින්, ශිෂ්‍යයන්ට දේශන සහ පොතපත ආශ‍්‍රිත අධ්‍යාපනයට වැඩි උනන්දුවක් දක්වා, විභාගවලින් ඉහළින් සමත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් හමුදා ශ‍්‍රමය සහ බලය ප‍්‍රජාතන්ත‍්‍රවාද විරෝධී ලෙස යොදා ගැනීමේ වරද කුමක් ද? ‘බෝම්බ පුපුරන යුද්ධය’ නැවත ඇති වීම වැළැක්වීම උදෙසා, ‘බෝම්බ නොපුපුරන’ යුද පිටියක සදාකාලික ගොදුරු බවට පත් වන්නට අද සියලූ ශ‍්‍රී ලාංකිකයන්ට සිදුව ඇති අතර, එහි ඇති බිහිසුණුම ස්වරූපය වන්නේ තමන් මෙම යුද පිටියේ ගොදුරු බව තමන්ම නොදැන සිටීමයි.

‘නිල නොවන සොල්දාදුවන්’ ලෙස මිලිටරි රෙජීමයේ නියෝජිතයන් ලෙස කටයුතු කිරීමට සිවිල් ජනතාව විවිධ බලපෑම් හරහා මෙහෙයවනු ලැබීමක් විවිධ ක‍්‍රමවලින් සිදුවේ. විදුහල්පතිට මිලිටරි පදවි ලබා දීම, මිලිටරි නායකත්ව පුහුණු ලබා දීම හරහා සිදු කෙරෙන්නේ කුමක් ද? විදුහල්පතිතුමාට මිලිටරි රෙජීමයේ නියෝජිතයකු ලෙස කටයුතු කිරීමට නැතහොත් අධ්‍යාපනයේ ‘යහපත්’ තත්වය තබා ගැනීමට, නිල නොවන මිලිටරි නායකයකු බවට පත්වීමට විදුහල්පතිතුමාට කෙරෙන ආරාධනා කිරීමයි. විශ්ව විද්‍යාල සිසුනට මිලිටරි නායකත්ව පුහුණුවක් ලබා දීම හරහා අනාගතයේ මිලිටරීකරණය සිවිල් පරිපාලනය තුළට දීර්ඝ කාලීන ලෙස කා වැද්දවීමක් සිදු නොවන්නේද?

මෙම මිලිටරීකරණය බෞද්ධාගම වැනි අවිහිංසාව පදනම් කර ගත් ආගමික සංස්ථාවක් තුළට ප‍්‍රවේශ වීම මෙවැනි මිලිටරීකරණ සංස්කෘතියක පැවැත්ම සම්බන්ධයෙන් බරපතල අනතුරු ඇඟවීමක් කරයි. 2013 පෙබරවාරි 17 වැනි දින බොදු බල සේනා මහ ලේකම් ඥාණසාර හිමියන් මහරගම දී වචනයෙන් ප‍්‍රකාශ කරන්නේ මෙයයි. ”

අද මේ මහරගම සමුළුවෙන් පස්සෙ උඹලා හැමඑකෙක්ම මේ වැඩිහිටියෝ, මේ තරුණයෝ, බාලයෝ, හැම එකෙක්ම, මේ හාමුදුරුවො ඇතුළුව, අද ඉදලා මේ රටේ නිල නොවන පොලිස්කාරයෙක් වෙන්න ඕනා. අපේ ඊළග පරම්පරාවට මේ රට ඉතුරු කරන්න. මේ තියෙන පොලීසි හා මේ රටේ, ලෝකේ තියෙන මහ ලොකු කොහේවත් නැති ප‍්‍රජාතන්ත‍්‍රවාද මඟුල් එක්ක මේ ජාතිය හැමදාම වැනසෙනවා

බෞද්ධ ආගමික ප‍්‍රජාව විසින් මිලිටරි රෙජීමයක් ලෙස කටයුතු කළ යුතුවා පමණක් නොව, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වටිනාකම් ක‍්‍රියාත්මක කිරීමේ කාර්යය සඳහා පිළිගත් ආයතනවල පැවැත්ම ප‍්‍රතික්ෂේප කිරීමක් ද ඉහත ප‍්‍රකාශය හරහා සිදු වේ. යුද්ධයට මිලිටරිමය ලෙස විසඳුමක් ගෙන ආ යුතු බවට ගෙන ආ යෝජනාව එදා සාධාරණීකරණය කරනු ලැබුවේ රට, ජාතිය, ආගම (බෞද්ධාගම) වෙනුවෙනි. ඒ කරනු ලබනු සාධාරණීකරණය ඉන් එහාට ගොස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආයතන ප‍්‍රතික්ෂේප කරමින් ආගම මිලිටරි ආයතනයක් ලෙස කටයුතු කළ යුතු බව වාවික වශයෙන් ප‍්‍රකාශ කරනු ලැබීම අන්තවාදයක් ලෙස බොහෝ දෙනෙකු හඳුන්වනු ලැබූව ද, අද එය එසේ වාචික වශයෙන් ප‍්‍රකාශ නොකළ ද, රජය ඇතුළු ආයතන ගණනාවක් විසින් නොනිල වශයෙන් ක‍්‍රියාත්මක කරනු ලබන්නේ එයම නොවේද?

රාජපක්ෂ රෙජීමයේ වුවමනා එපාකම් ඉෂ්ට කෙරෙන තාක් කල්, ‘ඔබට හිමි තීරුවේ පමණක්ම රිසි ලෙසින් ඇවිදින්න…’ යන ප‍්‍රකාශය කවරෙකුට වුව වලංගු වේ. එහෙත් එසේ නොවන කල…? රෙජීමය විවේචනය කරමින් කටයුතු කළ ජනමාධ්‍යවේදීන්, මානව හිමිකම් ක‍්‍රියාකාරීන් පමණක් නොව රෙජීමයට යම් යම් අයුරින් සහයෝගය දැක්වූ පාර්ශ්ව පවා විවිධාකාර තර්ජනවලට අදටත් ලක් වෙමින් පවතින බව රහසක් නොවේ.

ආයුබෝ වේවා මහ රජාණෙනි…//
සිව් මහ බඹුන් දුන් විවරණින්,
අපටත් රජෙක් පහලව ඇතේ
ඒ මහ රජුන් පෑ පෙළහරින්
මේ දෙරණ එක් සේසත් කළේ…

රාජ්‍ය මාධ්‍යවල අති විශාල ප‍්‍රචාරණයක් ලැබූ මෙම ගීතය, රාජපක්ෂගේ ඡන්ද කටයුතු සඳහාද සුවිශාල මෙහෙයක් ඉටු කළේය. එහි කෘතගුණයක් සැලකීමට මෙන් මෙම ගීතය ගායනා කරන සහේලි ගමගේ ගායිකාවගේ නමින් මහරගම ප‍්‍රදේශයේ මාවතක් නම් කිරීම ද සිදු කෙරුණි. එහෙත් රෙජීමයට ප‍්‍රශස්ති ගායනා නොකළ කලාකරුවන්ගේ තත්වය කුමක් ද? සහ කලාකෘතියක් වශයෙන් ඉහත ගීතයේ ඇති වටිනාකම කුමක්ද? යන්න අප විසින් පැහැදිලිව ප‍්‍රශ්න කළ යුතු වන්නෙමු.

‘පශ්චාත් යුද සමයේ’ එසේත් නැත්නම් මෙම ‘නව යුද සමයේ’ මතුවන තවත් ප‍්‍රධාන ‘නව’ සංකල්ප දෙකක් වන්නේ ‘දේශද්‍රෝහීත්වය’ සහ ‘දේශපේ‍්‍රමීයත්වය’ යි. මෙම වචන දෙකට ඉතිහාසයේ පැවතුණු තේරුම්වලට වෙනස් තේරුම් අද හඳුනාගත හැකිය. රාජපක්ෂ රෙජීමයට දක්වන පක්ෂපාතීත්වය අනුව මෙම සංකල්ප දෙකට නව අරුත් ගැන්වේ. දෙවනුව සිංහල, බෞද්ධ ප‍්‍රජාවගේ අවශ්‍යතා අනුව මෙම සංකල්ප දෙක අර්ථ ගැන්වේ. ‘දමිළ’ හෝ ‘මුස්ලිම්’ ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කිරීම, රාජපක්ෂ රෙජීමය විවේචනය කෙරෙන තොරතුරු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීම, මානව හිමිකම් ගැන කතා කිරීම ආදී කාරණා ගණනාවක් මෙම ‘දේශද්‍රෝහීත්වය’ යන ලේබලය යටතේ අද අරුත් ගැන් වේ. මෙයට ප‍්‍රබල උදාහරණයක් වන්නේ යුද ජයග‍්‍රහණයත් සමග රාජපක්ෂ රෙජීමය ප‍්‍රමුඛ රාජ්‍ය මාධ්‍ය විසින් හමුදාපති සරත් ෆොන්සේකා ‘ප‍්‍රබල දේශපේ‍්‍රමියකු’ ලෙස හැඳින්වීමත්, ඔහු ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමත් සමග, ‘ජාති ද්‍රෝහියෙක්’ සහ ‘අපරාධකරුවෙක්’ බවට පත්වීමත් ය. යුද්ධය දිනවීමේ දී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ සරත් ෆොන්සේකා ජාති ද්‍රෝහියෙක් බවට පත් වෙද්දී, ළමුන් යුද සෙබළුන් ලෙස බඳවා ගැනීම ඇතුළුව යුද අපරාධ චෝදනා ගණනාවකට සැකකරුවකු වන කරුණා අම්මාන් දේශපේ‍්‍රමියකු වන්නේත් මෙම නව අර්ථකතනයේ ප‍්‍රතිඵලයන් ලෙස ය.

අවසන් වූ යුද්ධයෙන් වර්තමානය වෙනස් වන්නේ කෙසේද? හමුදාවෙන් සිවිල් ජනතාව මරා නොදැමෙන යුගයකට අප පිවිස සිටිමු ද? මානව හිමිකම් ක‍්‍රියාකාරීන්, ජනමාධ්‍යවේදීන්, උද්ඝෝෂකයන්, ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් ගණනාවකගේ මරණයන් සහ ඒ අය මුහුණ පෑ විවිධ තර්ජන සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා නිල නොවන වශයෙන් මෙන්ම නිල වශයෙන් ද, සම්බන්ධ වන අවස්ථා ගණනාවකටම උදාහරණ ඇත. යුද්ධය පැවැතුණු කාලයට වඩා දැන් අදහස් ප‍්‍රකාශනයේ නිදහසක් තිබේ ද? ජනමාධ්‍යවේදීහු ගණනාවක්ම අත්අඩංගුවට ගෙන හෝ, ‘නාඳුනන තුවක්කුකරුවන්’ විසින් වෙඩි තැබීමට හෝ පහර දීමට ලක්ව, එසේත් නැත්නම් මරණ තර්ජනවලට ලක්ව මෙරටින් පලා යාමට ලක්ව සිටිති. එවැනි කාරණා සම්බන්ධ සාධාරණ විනිශ්චයක් ලබා දීමට අධිකරණයට ඇති නොහැකියාව පැහැදිලිව පෙනෙන අතර අධිකරණයට අධිකරණය ආරක්ෂා කර ගත නොහැකි බව අගවිනිසුරුතුමියට අත් වූ ඉරණමින් පැහැදිලිව පෙනේ. පශ්චාත් යුද සමය යනු යුද්ධයේම ද්විතියක අවස්ථාවක් අප හඳුනා ගත යුත්තේ මෙවැනි පසුබිමකය.

දමිත් චන්දිමාල් | Damith Chandimal

යුද්ධය සැබවින්ම අවසන්ද?