[ගංවතුර දවස්වල සිතුවිලි…..] පරිසරය ජාතිවාදයේ සහ ධනවාදයේ කෙළවර ද?

Sri-lanka-floods-Aranayake-Landslide6

කුණු කන්ද නාය ගොස් වැඩි දවසක් ගෙවුනේ නැත. දැන් ගංවතුර ගලයි. නාය යයි. අපි ජීවත් වෙන යුගයේ බරපතලම ගැටළුව බවට පරිසරය පත් වී ඇත. ඉදිරියේ දී තවත් ව්‍යසනයක් සිදු වීමට නියමිත අතර, තවත් මිනිසුන් මිය යාමට නියමිතය. මහ සයුර, මහ පොළොව, ජලය, කඳු, මිටියාවත්, කුණු මිනිසාගෙන් පලි ගනිමින් සිටියි.

යුද හමුදාව යොදා මිනිසුන් බේරා ගත හැකිය. එහෙත් යුද හමුදාව යොදා තවදුරටත් ව්‍යසන නැවැත්විය නොහැකිය.  අපගේ යුගයේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් දේශපාලන උපක්‍රම, යුද උපක්‍රම, සෞඛ්‍ය පහසුකම්, නූතන විද්‍යාත්මක දැනුම, ශරීර ව්‍යායාම උපදෙස් යන සියල්ල මේ ගැටළුවේ දී අසමර්ථ වෙමින් පවතී. අප විසින් මුදල්වලට ගෙන සිටින, අයිති කර ගෙන සිටින, පර්චස් ගණන්වල ඉඩම් අපිට විරුද්ධව කුමන්ත්‍රණය කරයි. අප විසින් කා ඉවත ලන යෝගට් කෝප්ප, තැඹිලි කෝම්බ, ටින්වල සිට කාබනික අපද්‍රව්‍ය දක්වා අපට විරුද්ධව කුමන්ත්‍රණය කරයි. අපගේ ආරක්ෂාව තවදුරටත් රජයයට ලබා දිය නොහැකි අතර, මුස්ලිම් ජනවර්ගයට අයත් අයට, දෙමළ ජනවර්ගයට අයත් අයට පහර දී, වෙඩි තබා, හෝ වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්වයකින් හෝ විනාශ කිරීමෙන් අපට ඒ ආරක්ෂාව ලබා ගත නොහැක. ජාතිවාදය, මෙන්ම ජාතික රාජ්‍යය ද, ධනවාදය ද, පරිසර ගැටළු සඳහා විසඳුම් ලබා දීමට අසමර්ථ වෙයි.

රජයට මේවා සඳහා උත්තර ඇත්තේ නැත. මීතොටමුල්ලේ සිට, කුණු පිළියන්දළ කරදියානටත්, මුතුරාජවෙලටත්, පුත්තලමටත් ගෙන යාමට යෝජනා කරනු විනා, ධනවාදයේ ප්‍රතිඵලයක් වෙන මහා පරිමාණ කුණු නිෂ්පාදනය වැළැක්වීම ඔවුනට කළ නොහැකිය. කුණු ප්‍රශ්නයේ දී ප්‍රතිචක්‍රීකරණය යම් විසඳුමක් වුව ද, එය ද පරිපූර්ණ විසඳුමක් වන්නේ නැත. එසේම තවත් පරිසර ප්‍රශ්න බොහොමයක් ඇති අතර, තවත් ඒවා ඒමට ද නියමිතය.

පහත් බිම් ගොඩ කිරීම වැළැක්වීමට රජය අසමර්ථ වෙන අතර, කුණු ප්‍රශ්නය විසඳන්නේ කුණු යොදා පහත් බිම් ගොඩ කිරීමෙනි. මුහුද පවා ගොඩ කර තව තවත් බිල්ඩිං ඉදි කෙ‍ෙරමින් පවතී. ඒ අර්ථයෙන් මේ ගංවතුර අපගේ ‘සංවර්ධනයේ’ ප්‍රතිඵලයක් වෙන අතර, තවත් එවැනි පරිසර ප්‍රශ්න සහ ඒවායෙන් සිදු වන හානි අපි නිර්මාණය කරමින් සිටිමු.

පරිසර ප්‍රශ්න යනු වැලිකැටයකින්, ජල බිංදුවකින්, ක්ෂද්‍ර ජීවියකුගෙන්, තණ කොළ ගසකින්, තනි පුද්ගලයන්ගෙන් පටන් ගෙන ගෝලීය තත්වය දක්වා විහිදෙන ඒවා වෙන අතර, එකිනෙකට යා වුණු සංකීර්ණ ජාලයක කොටස් වේ. ගෝලීය උණුසුම වැඩිවීම මෑත කාලයේ ගංවතුරටත්, නියඟයටත්, පොදුවේ දේශගුණ විපර්යාසවලටත් එකසේ බලපානු ලබයි.

ජාති(ක)වාදයෙන් ඔබ්බට සිතීම

යුවල් නෝවා හරාරි නම් ඊශ්‍රායල් ජාතික ඉතිහාසඥයා විසින් ‘ජාතිකවාදය සහ ගෝලීයකරණය: නව දේශපාලන බෙදුම’ (https://www.youtube.com/watch?v=szt7f5NmE9E) නම් යූටියුබ් වීඩියෝ වේ පවසන්නේ ජාතිකවාදයේ අවසානයේ වන්නේ ගෝලීය ආර්ථිකය සහ ගෝලීය පරිසර ප්‍රශ්න බවයි. රටපුරා ගංවතුර ගලා ඇති මොහොතක, විදේශ ආධාරවලින් ඔබ්බට,  මාධ්‍ය වාර්තාකරණයෙන් ඔබ්බට පරිසර ප්‍රශ්න ගෝලීය තලයට විහිදේ.  හරාරි තර්ක කරන පරිදි, ජාතික තලයෙන් එළියට නොයන නිසා, ගෝලීය ප්‍රශ්න සම්බන්ධයෙන් ජාතිකවාදයට උත්තරයක් ඇත්තේ නැත. අපේ රටේ අපි කතා කරන්නේ අඩුම ගණනේ ජාතිකවාදය ගැන නොවේ. අපි කතා කරන්නේ සිංහල, දෙමළ හෝ මුස්ලිම් වර්ගවාදී ජාතිකවාදය ගැනය.

පරිසර ප්‍රශ්න යනු ගෝලීය ප්‍රශ්න වෙන අතර, ඒවා විසඳීම උදෙසා ගෝලීය ලෙස සිතීම අත්‍යවශ්‍ය වේ. ලාංකීය ලෙස සිතීම ප්‍රමාණවත් වන්නේ ද නැත. එහෙත් ලාංකීය ලෙස සිතන්නටවත් නොහැකි  ජාතිවාදයට, ගෝලීය ලෙස සිතීම අතිශයින් දුෂ්කරය.

විල්පත්තුව හෙළි කර මුස්ලිම් මිනිසුන් පදිංචි කිරීම සම්බන්ධයෙන් ජාතිවාදයට උත්තරයක් ඇති නමුත්, ඒ ජාතිවාදයටම පදවිය රක්ෂිතය හෙළි කර සිංහලයන් පදිංචි කිරීමට විරුද්ධ විය නොහැකි වෙයි. මහින්ද මුල පිරූ නිසාවෙන් චීන ආධාර යටතේ සෑදෙන වරාය නගරයට සිංහල බෞද්ධ ජාතිවාදයට විරුද්ධ විය නොහැකි වෙයි. හමුදාව විසින් හිර කර ගෙන සිටින පානම් පත්තුවේ මිනිසුන් වෙනුවෙන් හඬ නඟන්නට නොහැකි වෙයි. උතුරේ හමුදාව බලෙන් අයිති කර ගෙන ඉන්නා සිවිල් වැසියන් ජීවත්ව සිටි ඉඩම් සම්බන්ධයෙන් කිසිදු අදහසක් නැති වෙයි. අපට අයිති නැති ඉඩම්වල සිටින මිනිසුන් කරන දෑ, අපට බලපාන බවත්, කොළඹ සිටින අපට ලතින් ඇමෙරිකාවේ සහ කොංගෝවේ වනාන්තර වැදගත් බවත්,  නානසාරට විතරක් නොව, සිරිසේනටද, රනිල්ටද, මහින්දටද, විග්නේෂ්වරම්ට ද තේරෙන්නේ නැත. ‘අපි සියල්ලෝම දේශප්‍රේමියෝය, ජාතිකවාදියෝය’ යනුවෙන් රනිල් වික්‍රමසිංහ පසුගිය දෙසැම්බර් මාසයේ ද හින්දු පුවත්පතට ප්‍රකාශ කර සිටි බවත් මෙහිදී මතක් කළ යුතුය. සිංහල, බෞද්ධ ජාතිවාදයේ, දෙමළ ජාතිවාදයේ මෙන්ම ලාංකීය ජාතිකවාදයෙන් ද ඔබ්බට පරිසර ප්‍රශ්න ගලා යයි. මේ භූමිය මට අයිති යැයි, අපිට අයිති යැයි, මගේ වර්ගයට අයිති යැයි, රාජ්‍යයට අයිති යැයි සිතන භෞමික අඛණ්ඩතාවයේ සහ භූමියේ අයිතිය සම්බන්ධ සංවාදයෙන් ඔබ්බට යයි. එයට දේශ සීමා නැත.

පාරිභෝගික ධනවාදය

එසේම පාරිභෝගික ධනවාදය ද, එය හා තදින් බැඳුණු වර්තමාන රාජ්‍යයේ ආර්ථිකය ද දේශ සීමාවලින් එහාට යන්නකි. මනුෂ්‍ය සමාජයේ ජීවන රටාවන්, ආර්ථිකයේ ස්වභාවයන්, දේශපාලන තීරණයන් මෙහෙයවන වර්තමානයේ බලසම්පන්නම කතිකාවත වන්නේ පාරිභෝගික ධනවාදයයි. පාරිභෝජන ධනවාදය මුදල් හම්බ කිරීම, සහ පරිභෝජනය සම්බන්ධ චක්‍රයෙන් එහාට යන්නක් වෙන අතර එය බලය සම්බන්ධ කාරණාවක් ද වේ. ලෝකයේ පොහොසත්ම 8 දෙනා විසින් ලෝක ධනයෙන් 50%ක් අයිති කර ගෙන සිටිති. අපගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලනය මෙම පාරිභෝගික ධනවාදය විසින් හසුරුවනවා පමණක් නොව, ඒවා විසින් අපි සිතන පතන ආකාරය, අපේ අධ්‍යාපන පද්ධතිවලට පවා බලපෑම් කරනු ලබයි.

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව ‘සංවර්ධනය වෙමින් පවතින රටකි’ යන්න අපි කටපාඩම් කළෙමු. සංවර්ධනය නොවූ රටක තිබෙන අවුල මොකක්ද? අපිට නැති ඒ අයට තියෙන දේ මොනවාද? ඒ අයට නැති අපිට තියෙන දේ මොනවාද? අපි ඉන්න තැන බටහිර පිහිටි දියුණු රටවලට වඩා නරක තැනක ඇත්තේ ඇයි? මේ ප්‍රශ්න අපි ඇසුවේ නැත. අදද අසන්නේ නැත. අසන්නට අපිට පුරුදු කරන්නේ ද නැත.

පාරවල් සෑදීම සංවර්ධනය ලෙස අපි මෑත යුගයේ කතා කළෙමු. ඒත් පාරවල් සෑදීමෙන් කාට වාසි වුනේද? යන ප්‍රශ්නය අපි හරි හැටි අද ද අසන්නේ නැත. චීනය පාරවල් සෑදීම සඳහා අපට ණය දුන් අතර, දීර්ඝ කාලීන ණය බරක හිරවී සිටින අපගේ රටේ තීරණ වෙත චීනයෙන් ලොකු බලපෑමක් එල්ල වෙයි. එසේම චීනය විසින් දුන් ණයට වඩා වැඩි මුදලක් උපයමින් සිටී. එම ණය ලබා ගැනීමේ දී දේශපාලනඥයෝ බොහොමයක් කොමිස් ගැසූ අතර, පාරවල් සෑදීම සම්බන්ධයෙන් තීරණ ගත් ඔවුහු එයින් වාසි ලැබූහ. ඔවුන් පසුපස සිටි කොන්ත්‍රාත්කරුවෝ ඊළගට වාසි ලැබූහ. මේ පාරවල් හරහා ගමන් කරන්නේ බොහෝ විට මුදල් ඇති, වාහන ඇති පුද්ගලයන් වෙන අතර, කාපට් කළ මේ පාරවල්වල පයින් යන මිනිසුන් ගේ ඉඩ තවදුරටත් සීමා කර ඇත. ඒ අතර ණය ලැබීම, ඉදිකිරීම් කරනු ලැබීම සංවර්ධනයේ ඉහළ යාමක් ලෙස නම් කර ඇත. පාරවල් කාපට් කරනු ලැබීම නිසා කොයිතාක් දුරට කටයුතු කාර්යක්ෂම වීද යන ධනවාදී ප්‍රශ්නය පවා අප අසන්නේ නැත. හැකිතාක් පරිභෝජනය කිරීමට අපට බල කරන සමාජ ක්‍රමයක අපිට ජීවත් වීමට සිදුවී ඇති අතර, ණය විසින් අපව ඒ පද්ධතියට බැඳ තබනු ලබයි.

පාරවල් යනු පාරිභෝගික ධනවාදය ඇතුළු කරන මාර්ග වෙන අතර, ඒවා සඳහා මේ තරම් වියදම් වන්නේ පුරවැසියාට අවශ්‍ය නිසාම නොවේ. එසේම පුරවැසියාගේ ‘අවශ්‍යතාවය’ ද විවිධ ලෙසින් පාරිභෝගික ධනවාදයේම සමාජ නිර්මිතයක් වේ.  මෑත දී තැනුනු අධිවේගී මාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු අනෙක් කාරණය වෙන්නේ මේවා සෑදෙන්නේ පහත් බිම් හරහා වීමයි. උදාහරණයක් ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගය ගංගා 5ක් හරහා සෑදෙන අතර, පාලම් 5ක් තැනූ පමණින් ස්වභාවිකව ජලය බසින ක්‍රම තාක්ෂණය විසින් සැපයෙන්නේ නැත.

පහත් බිම සහ ජලය අතිශයින් දේශපාලනිකය. ‘මිටි තැනින් වතුර බහිනවා’ යනුවෙන් ජනවහරේ කියවේ. භාෂාවේ පවා පහත් බිම ලක්වෙන්නේ අඩු සැලකිල්ලටය. පහත් බිම්වලට ඇති ආර්ථික වටිනාකම අඩුය, පරිසරමය වටිනාකම වැඩි විය හැකි නමුත් එය සල්ලිවලින් මනින්නේ නැත. ඒ නිසාම පහත් බිම් ගොඩ කිරීම බොහෝ දෙනෙකුට පේන්නේ සංවර්ධනයම ලෙසය. ගංවතුරක් එනතුරුම, ගෙවල් යට වෙන තුරුම අපිට උඩින් දුවන අධිවේගී මාර්ගය සංවර්ධනය ලෙස පෙනෙන අතර, පහත් බිම් පැවැතීම සංවර්ධනය ලෙස හිතෙන්නේ නැත.

‘පිරිමි’ උස්තැන තැබු ක්‍රමය

පහත් තැනින් වතුර බසින තැන සිට ඉහළ තැන් තේරුම් ගත යුතුය. ‘පිරිමි’ උස් තැන්වල තැබූ ක්‍රමයක් තුළ අපි ජීවත් වෙමු. වාර්ගික බහුතරයට අයත්, ආර්ථික වශයෙන් ඉහළ පන්තියට අයිති, නාගරික පරිසරයෙන් එන, විෂමලිංගික, ‘පිරිමි’ය බොහෝ විට රටේ තීරණ ගන්නන් වෙන්නේ. ඇතැම් විට කාන්තාවන් හෝ විෂමලිංගික නොවන පිරිමින් සුළුතරයක් මෙවැනි තනතුරුවලට පත් වුයේ වුවද ඔවුන්ද පුරුෂාධිපත්‍යයේ චින්තනයෙන් මිදුනෝ නොවෙති.

මේ ‘පිරිමි’ සියල්ලෝම පාහේ පාරිභෝජන ධනවාදයෙන් සහ සමාජයේ අසාධාරණතාවලින් වාසි ලබන්නෝය. මා මෙතැන එක්තරා මොඩලයක බලය ඇති පිරිමිකමක් ගැන සඳහන් කරමි. ඔවුනට මේ පද්ධතිය, අපේ පරිභෝජන විලාශය වෙනස් කිරීමට ඇති වුවමනාව කුමක්ද?

ලොකු කොමිස් කුට්ටියක් කඩා ගත හැකි අවස්ථාවක, එසේ කර, හොර පරිසර වාර්තාවක් තමන් මෙන්ම සිතන කෙනෙක් ලවා සාදවා, ජනතාව බිල්ලට දීම, තවත් ගංවතුරක සියයක්, දෙසියයක් ගිල්ලවීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කිරීමට එහා ගිය වගකීමක් ඔවුනට තිබේද?

තුන්වැනි ලෝකයේ දුප්පත්කම

තුන්වැනි ලෝකයේ මිනිස්සුන්ට ගෝලීය තීරණ සම්බන්ධයෙන් බලපෑම් කිරීමේ දුප්පත්කමක් ඇත. ඇමෙරිකාව යමක් කරතොත් එයට විරුද්ධ වීමට අපිට නොහැකිය. අපිට පුළුවන් වන්නේ ඇමෙරිකාවත් එහෙම කරනවා, ඒ නිසා අපිත් එහෙම කරනවා කියන්නට පමණි. පරිසරය උකසට තබා ‘සංවර්ධනය’ යැයි කියන විනාශයට පියමං කරන ගෝලීය ගැටළුවට ගෝලීය සමාජයක් ලෙස බලපෑම් කිරීමේ හැකියාවක් හෝ උනන්දුවක් බොහෝ තුන්වැනි ලෝකයේ රටවලට නැත. අපි තවමත් සිටින්නේ එක්තරා විදියක නව යටත්විජිත යුගයක වෙන අතර, අපේ සතුරන් වන්නේ අපේ රටවලම සිටින සහෝදර ජනතාව මිස, ගෝලීය ලෙස අධික ලෙස සම්පත් පරිභෝජනය කරමින් පාරිසරික ප්‍රශ්න නිර්මාණය කරන ගෝලීය ධනවතුන් සහ බහුජාතික සමාගම් නොවේ.

 මනුෂ්‍යයන් පමණක් ඉලක්ක කරගත් සංවර්ධන මොඩලය

එසේම මනුෂ්‍යයන් පමණක් මූලික කරගත් සංවර්ධන මොඩලය ද අපි යළිත් සිතා බැලිය යුත්තකි. මේ භූමිය අපට පමණක් අයිති නොවන අතර, ගහ කොළවලටත්, සතා සීපාවන්ටවත්, මහ පොළොවටත්, ජලයටත් අයිති වෙයි. එය රජයට ද, හමුදාවලට ද, සිංහල ජනතාවට ද, මුස්ලිම් ජනතාවට ද, දෙමළ ජනතාවටද, මනුෂ්‍යයාට ද අයිති වන්නේ එයින් පසුවය.

මනුෂ්‍යයාට පමණක් අයිති යැයි සිතමින් අපි කරන මේ සංවර්ධනයේ ප්‍රතිඵලය වන්නේ කුමක්ද යන්න සම්බන්ධව අපිට අඩුම තරමේ යම් පමණකට සංවේදීභාවයක් ඇති වන්නේ මිනිස් මරණ 20-30ක් වත් මාධ්‍යයෙන් වාර්තා කළොත් පමණි. ඉන් ඔබ්බට යමින් අපි වෙනස් වන්නේ කෙසේද?  අපේ ගම, අපේ පළාත, අපේ රට වෙනස් කරන්නේ කෙසේද? එතැනින් එහාට ලෝකයට බලපෑම් කරන්නේ කෙසේද? යන්නත් අපි සිතිය යුතුය.

ගෝලීය මිනිස් ප්‍රජාවක් ලෙස සිතීමේ අදහසකින් තොරව, අපට අනාගතයේ දී ලෝකයක් ඉතුරු නොවනු ඇත. අනාගත ලෝකයේ නායකත්වය යනු බලය එකතු කිරීම නොව බලය අත හැරීම විය යුතු බවයි මගේ අදහස.

ප්‍රගීත් ජෙගනාදන්ගේ ‘සියල්ලෝම දෙවියන්ගේ මිනිසුන්ය’ මැයෙන් ලියැවුණු මානවවිද්‍යාත්මක ලිපියේ 1983 ප්‍රචණ්ඩත්වය සහ 1992 ඇති වෙන මහ ගංවතුරක් සම්බන්ධයෙන් අතිශය වැදගත් දේශපාලනික සංසන්දනයක් කෙරෙන අතර, මේ ලිපිය ලියද්දී මට එය මතකයට නැගුනි. ගංවතුර ගලා යාම තුළ අපි භෞතිකව හදා ගන්නා තාප්ප, සීමා මායිම්, අඩුම ගණනේ තාවකාලික ලෙස බිඳ දමන අතර, වෙනදා මුහුණ නොබැලූ මිනිසුන්ගේ මුහුණ බලන්නටත්, වෙනදා උදව් නොකළ මිනිසුන්ට උදව් කරන්නටත් ඉඩ සපයයි. පර්චස්වලින් අපි මනින ඉඩම්, පාරිභෝගික ධනවාදය තුළ අපි එකතු කරන වටිනා යැයි සිතන දෑ සියල්ල අඩුම තරමේ තාවකාලික ලෙස අභියෝගයට ලක් කරමින් ගංවතුරකින් කරන හදිසි විනාශය තුළ එකමුතු කරයි.

ගංවතුරෙන් ඇති කරන සමගිය තාවකාලික නමුත් සුන්දරය. මේ කාලය තුළ උදව් කරද්දී කිසිවෙක් සාමාන්‍යයෙන් ජාතිය, ජන්මය සොයන්නේ නැත. එහෙත් ගංවතුර බැස ගිය පසු අපි යළිත් තාප්ප බැඳ, ජාතිය, ජනවර්ගය, කුලය, ලිංගිකත්වය, සමාජ තත්වය, ආර්ථික තත්වය මත මිනිසුන් කොන් කිරීම සහ ඔවුනට ප්‍රචණ්ඩත්වය යොමු කිරීම පටන් ගන්නා අතර, පරිසරය වෙත යොමු කරන ප්‍රචණ්ඩත්වය ගැන සිතන්නේ වත් නැති වන්නෙමු. කමක් නැත. අපි එය අමතක කරමු. එහෙත් තවත් ලොකු ගංවතුරක් ද, ඊට වඩා ලොකු නොදන්නා පරිසර ප්‍රශ්නයක් ද ඒමට නියමිත බැව් මතක තබා ගනිමු. (වර්ගවාදී චීවරධාරි මැරයකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ නිසා ගංවතුර ඇති වී යැයි සිතන  සමාජයකට මේ ගෝලීය චින්තනය තව බොහෝ දුරය)

දමිත් චන්දිමාල්

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )